Saturday, December 27, 2014

නොදන්නෙමි කිමද මේ ලැදි කම

නොදන්නෙමි කිමද මේ ලැදි කම 
වෙසෙන්නී නුඹ අන්සතු කැදැල්ලක 
ඉගිලෙන්නේ නුඹ නුඹේ අහසෙ වූ කල 
මග බලන්නේ මේ දෑස මේ ලෙස 

දනිමි ඉගිලෙන්න එකට එකලඟ 
නොලැබෙනා බව මේ ආත්මෙදි නුඹට මට 
ඒත් මේ හිත අකීකරු කම 
සොයන්නෙම නුඹේ සෙනෙහස 

දනිමි මා හැර රකින්නට අය සිටින බව 
අනෝරා වැහි කෙලෙස රුදු වුව 
උණුසුම් කරන්නට මේ තටු අවැසි නැති බව 
තවත් එකම එක කුරුල්ලෙක් පමණක්ම බව 

අරුමය නම් කොයිතරම් කීවත් 
මේ ඇත්ත හිත නාහනා එකමය 
අකීකරුයි තටු උනත් මෙමටම 
යන්න හදනා විටදී නුඹෙන් දුරකට 

Tuesday, December 23, 2014


ද්වේශ පාලන කර ගනු නොහී 
දේශ පාලන කරනු නොහැකී 
නොදැන යදම් මුගුරු දරන්නනි
හිරු අවර යන දවස වැඩි ඈතක නැති 

කාකි සිංහ සම් වලින් සැඟවී 
සගවන්න යන්ත දැරුවත් හිවල් ගති 
දනිව් මහ රෑට හඳ පායා ඇති 
වලකන්න බැරි වේවි උපන් ගති 

රුපියල් සත මිසක් සැනසීමක් නැති 
තරු මිසක් ගෞරවයක් නොලද මිනිසුනි 
ගෙවන්නට වේවි උඹලගේ කරුමය 
උඹේ දරුවන්ටම මහා මෙර මෙන් රැකි 

කැමති නම් සැඩ පහර හා ඇදියන් 
නැතිනම් උඩු ගං බලා වරෙන් අපි යං 
තරු පාගා ගෞරවය හොයපන් 
ආත්මය නොවිකුණා මැරියන්.. 

Photo - Sanka Vidanagama




Saturday, December 6, 2014

හැරී එන්නට බැරි නිසාවෙන්ම...

යම් මගක,
කඳුපල්ලම් වලගොඩැලි 
හමුවනාක් සේම, ඉඳුරාම 
මං සන්ධිත් හමුවේවි 
මෙතෙක් ආ මග බෙදන...

නොනැවතී යන්න නම් දිගටම 
එක මගක් හැර, අත් හැරිය යුතුමයි 
අනෙක් හැම මග නුඹ දකින 
නොහැක කිසිදින දෙමගක යන්නට... 

නෙත් පියා සවන්දෙන්න හදවතට 
යන්න ඉල්ලන්නේ කොයි මගද 
පියවර තබන්න විශ්වාසයෙන් 
හැරී නොබලා ඉදිරියටම...

වැරදෙන්න පුළුවන් නමුත් නුඹේ පියවර  
දෙවෙනි අවස්ථාවක් නොවේවි කිසි දින 
මන්ද ජීවන මග ඉදිරියටම යනු මිස 
හැරී එන්නට බැරි නිසාවෙන්ම... 

Saturday, November 1, 2014

අවසරයි ඉතිං වෙන්වෙන්න...

සිය දහස් දැවෙන සිත් නිවාහල
දහසක් නෙතඟ කඳුළු පිසළුව
නැතත් පන ඇතැයි හැඟුනු නුඹ
මැකී යන - මුව දොර

හෙට නව ලොවක් ගැන අපි මැවූ  හීනෙක
මරණයම විය නුඹේ ඉරණම
හැදේවී හෙට අලුත් නැවතුමක් නුඹේ ගත මත
සත්තයි නොදැනේවී කිසිවිට
මෙතරම් ලෙන්ගතුකමක්
මෙතරම්ම හුරු පුරුදුකමක්

හිත හඬන හෙට දවසක
තුරුළු වන්නට ඇවිත් හෙමිහිට
නොහිඳීවී නුඹ මෙතැන මේ ලෙස
ගොඩනැගෙන මන්දිර නුඹේ ඉඩ තුල
නොගෙනේවි නුඹ ගෙනා සිසිලස

හරවන්න බැරිකමට නුඹේ ඉරණම
අකුරු කරනෙමි නුඹේ මතකය
අවසරයි ඉතිං වෙන්වෙන්න
සැමදාම මෙමට තනි රැකි
ගාලු මුවදොර වෙරළ....



Wednesday, September 24, 2014

නුඹේ ගිනියම් හුස්ම හා මම...

ආදරේ උනත් අහසක් තරම් නුඹට, 
වටිනවා උනත් මහ මෙරක් තරමටම, 
ඒත් තද වානේ උනත් ගින්නට  
නැවෙනවා මෙන් කිනම් මොහොතක, 
නැවෙනවා මේ හිතත් නුඹෙන් දුර, 
නුඹෙන් ලැබෙනා ගිනියම් හුස්මට... 

බිඳී වෙන්වී යන්න මොහොතකට පෙර 
ආයෙමත් නුඹ ගෙනෙයි සිහිල් සුව, 
නිවයි ගිනියම්ව විඳවන හිත, 
ආයෙමත් දරදඬු කරයි ඒ හිත 
පෙර තරම්ම හයියට.. කැළලක් වත් නොතියාම...

ඒත් දවසක් ඒවි ළඟදීම 
නුඹත් නොදැනම හුස්ම සැර වෙන 
නැවී නොනැවතී බිඳී වෙන්වේවි 
මගේ හිතේ මං නුඹට ලිව් ඉඩ, 
හිතට බය නුඹේ කොටස වෙන්වුන කල 
මේ හිතේ මට ඉතිරි මොනවද?
දනිමි එය අංශුමාත්‍රයකට
 අඩුම මිස වැඩි නොවන බව ඉඳුරාම... 

Wednesday, September 10, 2014

මීට ආදර, දළඹුවා...

පාට පාට අත් තටු අරං 
නිල් අහසේ උඹ පියාඹන උජාරුව 
කාට පේන්නද උඹේ ලස්සන?
මතකද කාලෙකට කලින්, 
වැඩි ඈතක නෙවේ මේ බොහොම මෑතක 
ගෑටුව නුඹත් මං වගේම ගස් උඩ 

ලාදළු වල පුංචි හිල් රටා ඇඳපු උඹ 
දැන් බොන්නේ මල් පැණිම විතරලු 
වහන්නෙත් මල් වලම විතරලු 
ඒත් පුංචි සමනලයෝ දවසක 
සුළං කෝඩත් ඒවි නුඹේ මග  
හැංගෙන්න සිනිදු මල් පෙති මදිවෙයි 
හාද වී ඉඳින් අතුත් එක්ක හරියට..

Thursday, August 28, 2014

අකීකරු සිතුවිල්ලක්...

හන්තාන කන්ද පාමුල ඉඳන් උඩට 
හුස්මක්වත් නොගෙන දුවන් යනවා තරම්වත්  
සත්තකින්ම අමාරු නැතිව ඇති, 
අහන අහන හැම ප්‍රශ්නයක්ම  
ලැබෙන ලැබෙන හැම පිළිතුරක්ම
"බන්" කියන සෙනෙහෙබර ආමන්ත්‍රණයෙන් 
අවසාන වෙන බැඳීමක්, ආදරයට හරවන එක..

නුහුරු නුපුරුදු අය නොවුනාට අප 
ඒ හුරු පුරුදුකම ම ආපසු හරවන විටදී හිත 
කොහොම වචන ගලපන්නද, "ආදරෙයි නුඹට"
ඒකත් හරියට අක්බර් පාලමේ බැම්ම දිගේ 
සමබරව ඇවිදින්න හදනවා වගෙයි 
වැටුනොත් හොඳයි පාලම උඩට 
ඇද නොවැටී මහවැලියට...

Wednesday, August 27, 2014

නුඹත් රකීනම් මුනිවත

මහා රූස්ස ගස් දෙකක් මැද 
පුංචි කුරු ගසක් උන මම 
ක්ෂුද්‍රයි නුඹේ විසල් ලෝකෙට...
නුඹේ යාලු සියොත් කැල 
සහතික වේවි ලෝකෙට 
ඉගිලී ගිය බවට නුඹ 
එක විසල් ගසෙකින් අනෙකට 

ඒත් නුඹේ ගමන අතර මග 
නැවතුන බවක් මන් ළඟ 
දන්නේ නුඹයි මමයි විතරක්ම වුන කල, 
නුඹත් රකීනම් මුනිවත 
කෙලෙස ඉල්ලම්ද නුඹේ අයිතිය?
නොතකා හරීවි මුසා බස් යැයි ලෝකෙම... 
ඒත් නුඹේ උණුසුම, තාමත් දැනෙයි අතු තර 

කූඩු හදාවි නුඹත් දවසක 
ඒ විසල් ගසක අතු අග, 
අහම්බෙන්වත් හැරී නොබලාවී 
මේ පුංචි කුරු ගස දෙස, 
මැලවීයාවි  රූස්ස ගස් වල හෙවනෙන් 
හිරුවත් නොදැක මේ ගස...

Monday, August 25, 2014

සුලඟ..

අපි දාහයෙන් මිරිකෙන විට 
අහලකටවත් නොඑන සුලඟ 
අපි සීතලෙන් ගල්වෙන සිසිරෙට
හමාගෙන යයි අපේ ජීවිත අතර 

එන්නේ කොහිසිටද, යන්නේ කොයිබටද 
නොදන්නවා උනත් කිසිවිට 
දැන් එතැයි මග බලන් නොසිටි 
මිනිස් හදවතක් වේද මේ ලොව? 

විටෙක නිසලව...විටෙක සසලව 
ඇවිත් යන සුළඟ ගෙනෙන සුව 
නොවිඳි උන් ඇදෙති පසුපසම 
නවතින්න නොසිතති විඳපු උන් වුව 

දෑත විහිදා විඳින්නට හැකි ඒ පහස 
දෑත් හකුලා නතරකරනු නම් නොහැක 
දශමෙක උනත් ඉඩකින් රිංගා යනු නිසැක 
යන්න රිසි මගකට.. යලි එන්න බැරි දුරකට..

ගැහැණියත් සුළඟ හා සම...



Thursday, August 21, 2014

දයාබර අනාගත බිරිඳට

නුඹ කොහෙද, කාගේ කව්රුද 
නොදන්නවා උනත් මේ ගෙවෙන නිමේශෙදී 
විශ්වාසයි ඉර හඳ තරමටම 
නුඹ ගෙවනවා ඇති නුඹේම ජීවිතයක්
මං වගේම, කාවෙනුවෙන් ඉපැදුනාද නොදැන... 
මං වගේම උත්තර හොයන්න හදනවා ඇති, 
ඉරණම අපෙන් හංඟන, අනාගතය ගැන 
ඒත් නුදුරුම දවසක අපට අප මුණගැහේවි 
එකට දිවිමග යන්න අත් වැල් බැඳේවි... 
ඒත්, ඒ ගමන සුන්දරම නොවේවි 
නුඹත් මමත් පතන තරමටම 
නවතින්න හිතේවි.. ආපහු යන්න හිතේවි, 
හති වැටේවි තවත් යන්නට බැරි තරමටම 
ඒත් අපි පුරුදුවෙමු නොනැවතී දිගටම යන්න 
තනියෙන් නොව අත් වැල් පටලගෙන.... 
අඬන්න වේවි නුඹට හිනා වෙන තරමටම 
ඒත් කඳුලට වඩා එක අංශු මාත්‍රයක් හරි 
සත්තයි හිනාව නුඹේ ළඟ තියේවි 
පළිගමු අපි ඒ දවසට "ඉරණමෙන්"
අපිව පරක්කු කරපු වරදට 
අපිම ලියාගමු වෙන්වෙන දවස, අපේ ජීවිතවල...

Saturday, August 16, 2014

අද නැතත් සැකක් නැහැ හෙට - වසන්තය මල් දරාවී

අනාරාධිත සුලන් රැලි -  නොඅසාම හමාවී
අහිංසක වලාකුළු - ඈතටම ගෙනයාවි
නොඅසාම සීතලදැයි - හිරු තදට පායාවි
අවාරෙක පිපුණු මල් - අඳුරටම හැරේවී 

සඳුත් අහක බැලු දාට - අමාවක නම් ගෙනේවි
තැනින් තැන දිලුන තරු - අහසෙ ඈතට ඇදේවි
සීතල පොදවැස්ස - උනත් නෑවිත් හිඳීවි
අන්තිමම හුස්ම පොදත් - උදුරන්න රිසි උන් හිඳීවි

ඒත් කවදාකහරි ආයෙමත් - සුළං රැලි මෙහි ඇදේවි
ඒ හඳම නැතත් පුර හඳක් - අමාවක රැය මකාවී
සැහැසිකම් ඇති උනදාක හිරුත් - සීතලක් ගෙනේවී
යලි ඇවිත් සියොත් කැල - නිල් අහස සරාවී

අද ගියත් කවද හරි නුඹ - එන්නදැයි අසාවී
ඒ නැතත් වෙන උදා තරුවක් - මගේ ලෝකෙට වඩීවී
කවුරුන් ආවත් කවුරුන් ගියත් - මගේ සිනහව රැකේවී
අද නැතත් සැකක් නැහැ හෙට - වසන්තය මල් දරාවී

Thursday, August 7, 2014

ආවදෙන් වසන්තය, නුඹ මගේම වුන දවසකට

මග හරින්නට හමුවෙනා උකුසු නෙත් 
බලමින් බියෙන් වට පිට 
රිංගා ගතිමු අඩක් හැරි ලෑලි දොරකින් 
උන් කියූ, "පෙම්වතුන්ගේ දෙව්ලොව"ට... 
ගරා වැටෙන්නට ලංවූ පැරණි තානායමට... 

තනිවුනෙමු ඇඳක් පමණක්ම වූ කාමරයක 
වැසුණු දොරෙනුත් පිටට අසේවිදැයි බියෙන් 
නුඹේ හදවත සැලෙන මහ හඬ 
නොදනුනානම නොවෙයි නුඹේ අත වෙවුලන හැඩ... 

සිහිවී නුඹ මගේ ලොව රැජින බව 
කකියන්න වුනි මගේ හදවත 
දියකරනු කොහොම අප පිවිතුරු පෙම 
පුළුටු ගඳ ගහන, දුර්වර්ණ ඇතිරිලි උඩ... 

කෙඳිරුවෙමි සිපගෙන නුඹේ නළලලත
ආවදෙන් වසන්තය, නුඹ මගේම වුන දවසකට 
එතෙක් මා ජීවත් කරාවි, නොයිඳුල් නුඹේ ප්‍රේමය 
යලි නොහැරී බලා පිටවුනෙමු අප 
පසු කරන්.."Rooms" යයි කෙටූ පුවරුව...

Monday, August 4, 2014

-_-

ඉගිල්ලෙන්න බැරිනම් දුරට 
තටු වලින් පලක් නෑ තමයි 
හකුලගෙන ගෙන තටු බිමට 
ගාටන්න හිත නෑ  තමයි 

ඒත් කිරිල්ලී මේ අහස 
ඒතරම නිසල නෑ සත්තමයි 
වලාකුළු උනත් රිදවන්න පුළුවන් 
නුඹේ අත්තටු හරි තුනියි 

දහවලේ නුඹ සිඹින අහසම 
රෑට නුඹ රිදවනු රිසියි 
පමා නොවී සැඟවෙන් 
අවරගිර දැන් වැහි බරයි...

Sunday, August 3, 2014

ගොඩනැගීම...

පාදමෙන් වැඩ නැවතිච්ච ගෙදර
ඉතිරි වැඩටික නිමකරන්නට
කාසි අතමිට නැති නිසාවෙන් ඇය
සිතුවාය ණයක්වත් ගන්නට

ගොඩවැදී විමසුවා ඇය
ජනතාවගේ බැංකුවයි කී තැනකට
"නැද්ද මිස් පේ ස්ලිප් එකක් ළඟ?
කීයක් වෙනවද බේසික් නුඹට?"
ඇසුවාය බැංකුවේ ලඳ

පුයරන් තවරන් හිරට ඇඳගෙන
හිටියත් හැඩට මේ මම
නෑනේ ගන්නේ මාස පඩියක්
පැය ගානටයි යන්නෙ අපි මුදලට
ඉතිං කොයිද බේසික් අපිට?
ඉතිං කොයිද පේ ස්ලිප් අපිට?

සිනාසුනි ලඳ පුදුම වූ ලෙස
දෙන්න බැහැ ණය ස්ථීර නැති ඔබට..
අනේ නංගියේ උඹ දන්නෙ මගුලද?
ඇතිය හොඳහැටි බිස්නස් අපිට
ලෝකේ පෙරලුනත් අද හෙට..
මට එපා උඹේ ලොකු ණය

නොදුටුවා ලෙස වීදුරු කුටියට රිංගුව
නිතර හමුවෙන මනේජරුත් දැක
බැස්සාය ඇය පුරුදු මහ මගට..
හමුවුණි පන ඇති සැකිල්ලක් මග
පන නැතත් මොක කාසිවේනම් අත?

පැයක් ගතවුණ පුරුදු විගඩම, නිමාවුන  තැන
ඇත හැරිය ඌ මොණර කොළයක්
දහඩියෙන් තෙත් වුන ඇගේ කය මතට
ගුලි කරන් එය අල්ල මත තදටම
සිහින මැව්වා ඈ හැදෙන හැටි ගෙය
ගඩොලින් ගඩොල.. වරියෙන් වරිය..
සතයක්වත් ණය නොවී ලෝකෙට...

Thursday, July 31, 2014

ගහත් නොදත් මුල...

ගහක් සිතුවම් කරන සිත්තරෙකු
ගහක ගුණ වයන කවියෙකු
ඒ ගහේ පිපෙන මල් ගැනම මිස 
ඒ මලින් සැදෙන ඵලය ගැන මිස 
අහස සරසන අතු ගැනම මිස
වර්ණනා කල යමක් වේද එහි වෙන?

ඒ සිතුවම් තුල.. ඒ පබැඳුම් වල..
කිසිදාක නොඇඳෙති,
කිසිදිනක නොලියෙති,
ඒ ගහේ මුල් ගැන 
ගහට සාරය සොයනු වස් 
කාෂ්ටක පොළව හා යුධ වදින 

නමුත් ගසත් එහි මුල් නොදන්නා කල 
කුමට විවේචන සිත්තරුන් ගැන? 
කුමට විවේචන කවියන් ගැන?
මුලෙන් සුව ලබන්නේ ගහම මිස 
කවියන් සිත්තරුන් නොවෙති මේ ලොව...


Monday, July 28, 2014

කාන්තාරෙක ආදරය..

රිදවනවා තමයි.. ඒත්
හිරු එලිය තරම් ලඟින් 
හිටියේ කවුරුන්ද කතරට?
ඉඳහිට ඇවිත් යන 
පොද වැස්ස උනත් දවසක 
නවතින්නම ඒවියයි 
හිතුවත් වැඩක් වේවිද?

බලං උන්නත් මග  
සීත සුළං ඒ යැයි, ප්‍රාර්ථනා පුරවගෙන 
චණ්ඩ මාරුත හැර 
ආ කෙනෙක් නම් නැත... 
දකින උන් කොහොම කීවත් 
මල් පිපෙන්නේ නැහැ කතරක 

මේ රටා ඇන්දේ වැලි මත, 
චණ්ඩ මාරුතයි පෙර කල 
රන් පාට කෙරුවේ වැලි කැට, 
දැවෙන හිරු රැස්ය දහවල 
ඉඳින්...
ප්‍රේම කෙරුවම පුදුමය කිමද 
චණ්ඩ මාරුත වලට?... දැවෙන හිරු රැස් වලට?...
පොද වැස්ස... සීත සුළං අත හැර....

Monday, July 21, 2014

එදා...

එදා
එදා මහා ලස්සන දවසක් හිරු අහස වසා සිටි
සඳට පෙම්බැඳි පුංචි තරුවක් මගේ ලෝකෙට එබෙද්දී
නුහුරු සිත සිනාසෙන්න නොහැකිව එහේ මෙහේ දුවද්දී
ඇවිද ආ හැටි සාරියක් ඇඳ  අද වගේ මට දැනෙන්නේ

ගරා වැටි ගෙයි බිත්ති අතරේ මම නුඹේ ලෝකය සොයද්දී
වත්ත පිටියේ නුඹ දුවන පනින හැඩ මගේ හිත අග මැවෙද්දී
"තියන සෙරම අපෙ අක්කට" මල්ලි හෙමිහිට කියද්දී
හිත ගත්තේ දෑවැද්ද නොව නුඹේ සිනහවයි පොඩිත්තී

මූදු වෙරළට මං  වයිර කරන හැටි නුඹ තාම නොදන්නී
නුඹට මේ සිත ආදරේ නෑ, නුඹ තාම හිතන්නී
පෝරුවේ මං සිනාසුන හැඩ අනේ නුඹ නම් නොදත්තී
අපි අපිව නොදැන අපේ උනහැටි මටත් පුදුමයි මුවැත්තී

ගතත් සිතත් එකම මොහොතක වසන්තය විඳිද්දී
ඇඩු කඳුලින් පිරුණ මගෙ ලොව
සිනා මල් පොඩි පිපෙද්දී
නුඹේ ලෝකෙන් මගේ ලොව දුර වුනු බව
මේ ළඟකදියි නුඹ කියන්නේ

බත් පතක් ඔතාදුන් නුඹේ කවි කොලය
අහම්බෙන් මා දකිද්දී
කොහොම ඉන්නද සිරකරන් නුඹව මම
මගේ ලෝකයෙ කුමාරි
පෑන් ඉරකින් කටුගාමි මේ බැමි
ඉගිලෙන්න දැන් කිරිල්ලී...

තිළි අක්කගේ කවියට මගේ පිළිතුරක් - https://scontent-a-mad.xx.fbcdn.net/hphotos-xpa1/t1.0-9/10419554_730057723720461_1915193049724617970_n.jpg

Tuesday, July 15, 2014

යුද්ධය..

"යුද්ධය"ටත් මේ ලෝකේ අනිත් හැමදේටම වගේ 
මිලක් වටිනාකමක් තියෙනවා 
ඇමෙරිකාවෙදි රුපියලට අගයක් නෑ වගේම, 
ලංකාවේ ගමේ කඩේකට ඩොලර් දෙන්න බැරුවා වගේම, 
යුද්ධෙට ගෙවන්න ඕනි මිල 
ඩොලර් වලින්වත්...රුපියල් වලින්වත් ගෙවන්න බෑ...
යුද්ධයේ නිල මුදල් වර්ගය "රුධිරය" නිසාම
අපි යුද්ධෙ පටන් ගත්තා උනත්,
ඒක ඉවර කරන්න සටන් වැදුනා උනත්,
ඒ මිල ගෙවන්න ඕනි, රතු ලේ වලින්.. 
ඩොලර් වලට පුළුවන් 
ඒ මිල හෙට්ටු කරන්න විතරයි 
එහෙම නැතිව යුද්ධය නිකම් ගන්න නෙමෙයි 

Wednesday, July 9, 2014

ගැහැණු... පිරිමි...


ගැහැණු...
උපන්දා සිටම
වේදනාවම උරුම වුන උන්
වේදනාවටම පෙම් කරති,
සතුටයැයි කියා ගෙන
වේදනාවම හඹා යති
ජීවිතය පුරාවටම

පිරිමි...
කාන්තාරෙකට දියබිඳක් මෙන්
කොතරම් ලදත් නොසෑහෙන
"සැනසිල්ල"ම සොයා යති,
සැනසිල්ල නිසාවෙන්ම
ආත්මයම උවත් උගස් කරනු ඇති

ඒ පිරිමින්ගේ.. ඒ ගැහැණුන්ගේ..
ආශාවන් සංසිඳනුවස් තැනුණු
මනඃකල්පිත බැඳීමකි "ආදරය"
වේදනාවට සැනසීමත්,
සැනසීමට වේදනාවත්,
එකතු කරන...

(චායාරූපය අන්තර්ජාලයෙනි)

Monday, June 30, 2014

මහා හයියෙන් කියන්න පුළුවන් නම්...

මහා හයියෙන් කියන්න පුළුවන් නම්
මුළු ලෝකෙටම ඇහෙන්න
බැමි බිඳින්නට නොව
බඳින්නට මං වෙහෙසුණු බව
වෛර නොකරාවි ලෝකෙම
මේ කරන තරමට

ඒ හඬින් නුඹේ ලොව
සුනු විසුනු වනු හැකි කල
කෙලස කෑ ගසමිද
නුඹට රිදවනු බැරි මම

අසරණකමේ අරුතක්
නුඹට වැටහුණු දින
යලි කියවන්න මේ කව
දැනේවී නුඹට මා අද
විඳවන තරම් නුඹ ගැන...

Wednesday, June 25, 2014

වෙරළක ගායනාව..

අඳුර එක්ක වෙරළට රොක් වෙන 
සිය දහසක් මිනිස්සු 
බලා සුසුම්ලති, 
"අනේ මටත් වෙරලක් වෙන්න තිබුණා නම්" 
සුන්දර සයුරු රළට ලෝභයෙන් 
විඩින් විඩ එන මද නලට ප්‍රේමයෙන්.. 

දන්නවානම් ඒ සොඳුරු රළ, මද නල 
මේ වෙරළ රිදවන තරම් 
සත්තමයි ඔය එකෙක්වත් නැහැ කිසි 
පතන්නේ වෙරළක් වනු රිසින්.. 

චණ්ඩ රළ ළඟ, සුළි සුළං මැද 
පැනයන්න බැරි හැංගෙන්න බැරි 
වෙර විඳවන හැටි ඉතිං 
කොහොම කියලා දෙම්ද නුඹලට 
වසන්තයේ සවසක ඇවිත්..

මෝසම් කාලෙක අඳුරු සවසක 
නොසැඟවී පැල්පත් තුල ඉතින් 
බලා ඉඳපන් මේ වෙරළටම විත්
මේ සිනිදු වැලි විඳවන තරම්..
යන්න කලියෙන් කියා පලයං 
"අනේ මටත් වෙරලක් වෙන්න තිබුණා නම්" ලෙසින්....

Tuesday, June 24, 2014

නුඹ මැකී යනවානම් සිතින්...

අවසානයක් පේන මානෙක නැති 
ආරම්භයක් ගැන හිතන්නත් බැරි 
පාලු අඳුරු මගක අතරමං වූ කල 
ගරා වැටි බිත්තියක් ලඟට වී 
වෙර දැරීමි සිහි කරන්නට 

යන්තම් මතකයි නුඹ සිටිය ළඟ 
මේ පාලු මග යන්න සිතු දින 
අත් අල්ලන් ඇවිද නාවත් 
මේ මග යන්නැයි කීවේ නුඹ වග 

කුමට දෙවරක් සිතම්ද?
අපායක් හමුවුවත් අවසන 
විඳින්නට වෙන දුක, නුඹ නිසා විට 
ගමන් ඇරඹුවෙමි පාලු මග දිග 

ආවත් ගව් සියක් දුර මම 
නොදිටුවෙමි අවසනක්නම් තව 
කොඳුරනු ඇසෙයි සිහිනයෙන් මෙන් නුඹ 
"කව්ද ඔය මග යන්න කීවේ නුඹට?"
මෝඩයිද නුඹ ඔය තරමටම 
වංකගිරියකට පය තියන්නට...

Tuesday, June 17, 2014

Haunting Memories...

I can remember that time
When we used to text each other
Until the midnight
Fighting for silly things
Sometimes with words
Sometimes with emoticons…

It’s just a memory today
Deep inside in my heart
But even today I stay till late
Scrolling through Facebook
Reading the same stuff again and again
Or watching a movie that I’ve already watched
Hoping my phone would ring again…

Again like those days….

Tuesday, May 27, 2014

සමුගනිමි නුඹෙන්...

නුඹේ එකම එක ඇරයුමකට
සියවරක් නුඹ ලගට දිව එන්නට තරම්
මේ අකීකරු හිත පොරබදින බව ඇත්ත,


නුඹේ ඔය හිනාවට 
ආත්මයම බැඳී ලෝහ බැමි 
පරඩැල් වගේ බිඳෙන බවත් ඇත්ත,

නුඹ ඒක දැන, නොදැන වගේ ඉඳගෙන
මේ ආත්මය වෙහෙස කරවන තරම්  

දරාගනු බැරි නිසාවෙන් තවත්  
සමුගනිමි නුඹේ ලෝකයෙන්
පසුවදනක් නොලියාම 

දවසක් ඒවි නුඹටත්, අතීතය රිදවන 
මතක් වේවි නුඹටත් මේ හිත විඳපු දුක
නොහඬන්න එදින මාව සිහිකර 
යලි එන්න බැරි තරම් දුර 
වේවි හෙට අප තර...

Sunday, May 25, 2014

නුඹ සිනාසෙන හෙට මට අඬන්නට වනු නිසැක..


සත්තයි මං දවල් හීන දකින්නේ නෑ ආයෙමත් 
ඇවිත් ගියදෙන් ඕනි තරම් සුරංගනාවියෝ 
නිකමටවත් මං හැරිලා බලන්නේ නෑ 
ඇත්තමයි...

හැමදාම වගේ උං ඒවි, පාර වැරදුන දාට 
මුණගැහුණ දා උන්ට, පාට පාට සමනල්ලු 
යන්න යයි ඈතටම, වසන්තයත් අරගෙනම... 
මේ සිසිරේ ගල්වෙන්න, හැමදාම පුලුවන්ද?

පාවා දෙන්නෙ නෑ ආයෙත් නම් මම  
අමාරුවෙන් ගලක් කරගත්ත හිත 
ඉවසන්න බැරිම තැන මැකිලාම යනවා මිසක් 
නවතින්න ඉල්ලන්නේම නෑ 
අනුන්ගේ ලෝකෙක...

වසා අගුලුලමි, යතුරු සඟවමි 
ආයෙත්නම් නොහරිමි දොර 
කොයි තරම් හැඩුවත් දොරකඩ හිඳ 
මන්ද, නුඹ සිනාසෙන හෙට මට අඬන්නට වනු නිසැක..


Wednesday, May 7, 2014

එකම කතාවක්...එකම අවසානයක්...

එකම කතාවක් 
එකම අවසානයක් 
වෙනස්කම 
රංගනය විතරමයි 

ඒ වෙනස්කමත් 
පිටපතේ අවසානයේ 
වෙන්වීමක් ඇති නිසා පමණමයි 
ඉතින් කවදා හැදේවිද අලුත් පිටපතක් 
මේ පිටපතේ නිළිය එක්කම 
මේ කතාවේ මතුසම්බන්ධය

ඒ බලාපොරොත්තුවත් 
කතාව වගේම ප්‍රබන්ධයක් විතරමයි 
කල්ප කාලයක් ගියත් 
හීනෙන් වත් හැබෑ නොවෙන...


Friday, April 25, 2014

වෙරළක රැඳී හීන..
















මටත් මහා හීන තිබ්බා 
නිල් අහස අල්ලන්න නෙවෙයි.. 
දුර දියඹේ කිමිදෙන්නත් නෙවෙයි.. 
ඒත් හවසට බැහැල යන ඉර යටින්  
මටම අයිති උන පුංචි අතක්  
සුලැඟිල්ලකින් අල්ලාගෙන 
වෙරළ දිග ඇවිදින්න 
තනියෙන් ඇවිද්ද අතීතය ගැන 
කනට කර මුමුනන්න 
අර ඈත දිලිසෙන ගොඩනැගිලි ගැන, 
ඇයි... වෙරල හැර යන සයුරු රළ ගැන,
 මං දන්න දේ කියාදෙන්නට.. 
ඒත් තාමත් ඒවා හීන විතරමයි 
නමුත් කවදාක හරි මුණගැහුන දවසක
කියාදෙන්න ගොඩක් දේ තියෙයි නුඹහට 
හීන සුළඟට ගසා නොගියහොත් හෙට...

Photo - by me

Monday, April 21, 2014

දැලිපිහියෙන් කිරිකන උන්...

සයිබර් අවකාශයේ හොඳ, නරකින් වෙන් කරගෙන සමාජයට ඒ හොඳ බෙදීම නම්... උඩුගං බලායන ගමනේ තවත් එක සොඳුරු නැවතුම්පලක මතකසටහනක් මෙසේ ලියාතබන්නට සිතමි... මේ මිනිස්සු කව්ද?? නෑදෑයෝ?? යාළුවො??? .... නෑ උන්ගේ බැඳීම් ඊටත් වඩා හයියයි... උන් සහෝදරයෝ...

මීට මාස කිහිපයකට කලින් චන්දන එල්ලාවල අයියාගේ  "එකෙක් මම අනිකත් මම" කෙටි කතා සංග්‍රහය එලි දැක්වීමේදී චන්දන අයිය ලියුව සුන්දර වගේම ගැඹුරු තේරුමක් රැඳී වචන කිහිපයක් මගේ හිතේ තදින්ම සටහන් උනා.. "දැලි පිහියෙන් කිරි කන හැටි"... මේ ඉන්නේ ඒ වචන වලට ජීවය පිඹින දැලිපිහියෙන් කිරිකන උන්...

විවිද සමාජ මට්ටම්, වයස් මට්ටම්, මතිමතාන්තර දරන සියගානක් දෙනා එකට එකතුවී එකම අරමුණකින් දුර ගමනක් රැගෙන යනු පිණිස, මහත් වෙහෙසකින් හා කැපවීමකින් සයිබර් සිහින බක්මහ උළෙල සංවිධානය කල "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හි සියලුම නිලධාරීන්ට හා සාමාජිකයින්ට මෙසේ ප්‍රණාමය පුදකරමි..



Monday, April 7, 2014

හති අරින බැඳීම්!!

මිනිසුන් එති, සිනා සෙති 
ආගිය තොරතුරු 
පුංචි පුංචි ඕප දූප 
කන්වලට කොන්දුරති...

ඒ සිනාසුන ඒ කතාකල උන්ම 
වරෙක අත් වැල් බැඳ ගනිති 
අන්තයක් තරම් දුරයන්න 
පුංචි බැඳීම් තවත් හයි වෙති...

පියවර දහයක් ගිය තැන 
හති වැටෙති උන් 
තවත් යන්නට බැරි ලෙසට 
මන් තනති වෙන් වෙන්න...

නැවතුන කලට වල්මත්ව 
ගව් සියක් දුර මගක මැද
සිනා සෙති උන් අනන්තයේ හිඳ 
වෙන අතක වාරුගෙන...

Monday, March 17, 2014

හෙවණැල්ල...











කාගේවත් ලෝකෙක 
හෙවනැල්ලක් වීම තරම් 
පව්කාර කමක් 
කාලකන්නි කමක් 
තිබේදැයි අන් කවර?

නැවෙන නැවෙන අතට 
හැරෙන හැරෙන අතට 
ප්‍රශ්නයක් නොඅසාම 
දෙපාරක් නොසිතාම 
නැවෙති.. හැරවෙති... එය 

අයදියි  ගන අඳුර 
යන්තමින්වත් සැනසෙන්න...
අඳුර හා මුසුව 
ලෝකෙන්ම හැංගෙන්න 
බලා හිඳී හෙවණැල්ල 
හිරු අවර යනතෙක්ම...

Saturday, February 8, 2014

හැමදාම මතක තියේවි උඹව...

හරියට මං උඹව 
උස්සන් යන්න හැදුවා වගේ,
හුස්මක් කටක් නොගෙන 
එක දිගට කෑගහන හැටි... 
ඔච්චර බයගුල්ලියෙක් කියල 
යන්තම්වත් දැනන් උන්නනම් 
සත්තමයි හිනා වෙන්නෙවත් නෑ මං... 

උඹට නම් පාලු නැතිව ඇති 
මට දැනෙන තරමටම,
ඒත් උඹේ වැඩ, පණ්ඩිත කතා ගොඩ 
මතක්වෙද්දී හිතෙනවා දැන් 
යන්න කියලා කිව්වේ ඇයි මම?
හැමදාම මතක තියේවි උඹව 
පිස්සු බටු ඇටේ :) :) :)

Monday, February 3, 2014

මන් යන්නද??

මන් යනවා කියලවත් 
කියා යන්නට වෙහෙස නොවූ 
දහස් ගානක් උන් අතරේ....
මන් යන්නද? ඇසූ එකම කෙනා නුඹ.... 
අනික් උන් වගේම 
දුර යන්න වගේ ඇවිදින් 
මගින් හැරී ගියා තමයි,
ඒත් යන්න කලියෙන් 
මන් යන්නද අහන්න තරම් 
මනුස්සකමක්...
තෙතමනයක්...
උඹේ පුංචි හිතේ තිබුනා 
ඒ අහිංසක කමට මං ආසයි 
ඒක චපලබවේ ප්‍රභේධයක් නම් 
මං චපල බවටත් ආදරෙයි 
නුඹට තරම්ම...

Thursday, January 30, 2014

මාකටිං බේසික්ස්...

සාරිය... ගවුම...
කලවා... පයෝධර...
බටහිර මෝස්‌තර
උඩරට ඔසරිය 
හැට හතර මායම්ද 
අහිංසක බැල්මද 
පතිවතද..වෛශයාවද...

එකී මෙකි නොකී 
ගැහැණු ගැන හැම එකම 
අහං උන්නාට මදි 
හොඳට හිතට ගන්...
ඉති දරුවනේ අදට ඉවරයි 
මාකටිං පාඩම...

Thursday, January 16, 2014

අවි රැගෙන කැනහිලුන්....















සටන්කාමියෙක් ඇද වැටී පිටිය මැද  
අසිපතක් තබා අල්පෙනිත්තක් ළඟ නැතිව 
නිවටයින් හඬ නගන කල අසිපත් ලෙලවමින 
කැනහිලුන් උඩු බුරන නාදයට සමව 

බලකාමයෙන් ඔඳ වැඩුන මේ කොලොසියම මැද 
රණකාමි වෙස් පැළඳ නිවටයින් රඟන කල 
ඒරස් ගේ පරපුරේවුව අවි නගා පලය කීම?
සටන අග මරු මිසක වෙනයමක් නොමැති කල 

නුඹ පතන ලෝකයක්, ඇරඹුමට යුද්ධ වැද 
ලේ හෙලන කල, නමට... සාධාරණ බිමක 
නිවට බලවතුන් අනින හෙළි තුඩත් සැර නැතිය 
එක ලෙයේ දුබලයින් කරන ගැරහුම් තරමටම 

විෂ පොවා ඇත දුබල දුර්වල මිනිසුන්ට 
ඔසවන්න අවි සොහොයුරන් වෙත 
ඒත් උන් දුටුව කල ඇත්ත හඬ නගා අපි කියන 
අහෝ බලවතුනි උනයි කඳුලැලි නුඹ නමට...

Monday, January 13, 2014

ආදරය..,සයුරු රල සම

ආශා කලෙමි ඇවිදයන්න නුඹ සමග
අනන්තය තෙක් විසිරි වැලිමත,
සිත්ජයේ සිට ඇදෙන සුළන් රැලි
මවන ගී පද තාල අසාගෙන....

සිහින මැව්වෙමි තනිවන්න නුඹ සමග
ලෝකයෙන් මීදී වැටකෙයි පඳුරු තුල,
රාගයෙන් වල් වැදෙන්නට නොව
ආදරයෙ අග මුල් සොයන්නට....

ඒ අතීතය දුහුල්පටයක්ම වුනු අද
මුළු ලෝකයම නීරසව ගිය සෙය,
කියා දුන්නා අගුල් හැර සිත
ආදරයත් සයුරු රල සම බව....

ප්‍රේමයේ ඇරඹුමත් නැගෙන රල සම
සුන්දරය...නොයෙක් හැඩ ගෙන,
එහිම අවසන නුඹද මමද නොදකින
වෙරල අත හැර මුහුද වෙත යන....

Sunday, January 12, 2014

පිටස්තර තරු

තරු පෙරුම් පිරුවාට 
රැස් විදහා සැනසෙන්න
හිරු සමග එක්වෙන්න 
අවැසි ආලෝකය ගන්න... 

ලද නමුත් හිරු එලිය 
හැකි වීද තරු වලට 
හිරු අහසේ වැජබෙන්න  
සඳ ලඟදි දිලුන ලෙස...

මග බලන් උන්නාට 
හිරු එක්ක යා වෙන්න 
සඳේ සුව අහිමි කල, 
පිටස්තරයෙක්මැයි තරු තවම 
අහංකාර හිරුගේ ලොව...


Tuesday, January 7, 2014

තනිකම!!

මහා කාෂ්ටක පොළවක උනත් 
පිපෙන මල් ඇත දහක් දුක් විඳ 
දැවෙන හිරු රැස නොතකාම හැර 
සුළං තාලෙට වැනෙන නැළවෙන.. 

අහම්බෙන් වැහි බිඳක් ලද දින 
පුදුමයකි මල් සොයති වැහි සුව 
කාෂ්ටකේ පිපි සැටිත් අමතක 
අනෝරා වැසි වසිනු පතමින... 

සිතත් හරියට ඒ මලට සමමය 
තනිකමට කොයිතරම් හුරු වුව 
අහම්බෙන් බැඳීමක් ලදකල 
ඒ වෙතම යති තනිකම නුහුරු ලෙස...