Sunday, December 20, 2015

විඩා බරින් මිරිකී ගිය අහසක 
අඳුරු අමාවක රජන රාත්‍රිය 
එළිය කරන්නට දල්වා අහුමුලු 
තනි තරුවක වෙර ඇතිදෝ? 

අඳුර මකාලනු හැකිම සඳට මිස 
සඳෙන් බැබලෙනා තරුවකට නොවුන කල
සඳක් නැගෙනතෙක් මකා අමාවක 
තරුව අහස හා යා කර පල කිමදෝ? 

ගසක අගිස්සක පිපී මියෙන්නට 
පැතුම් පුරනා මල් පොහොට්ටුව 
ගසෙන් උදුරා බලෙන් ගෙන 
පිපෙන තුරු බලා ඉඳිනු කෙලෙස ලොව? 

ගසින් මිදුණු මල පරවී මිලිනව 
වියලෙනා කලට අකලට 
සිසිල් පැනින් සනසා ඒ මත
නොමියෙන්න යයි කොඳුරා නවතනුදෝ? 

ඉඳින් තරු අමාවක නොමකනා කල 
ගසින් මිඳුණු මල නොපිපෙනා කල 
සඳට අහස හමුවෙනා තුරු හිඳිය යුතුමය..
මල ගසෙහි පිපෙනා තුරු හිඳිය යුතුමය..

Sunday, October 11, 2015

නොහඬන්න ගඟ නුඹ..

ඉතින් නොහඬන්න ගඟ නුඹ
සයුරට නුඹව අමතක විට
දැන දැනම තවත් ගංගා බෝ බව
නුඹයි ආවේ මේ දුර තනිව
සයුර පුරවන්න සිත සිත..

උපන් කඳු මුදුනක ඈත 
හීනි දියපහරක් උන නුඹ 
ගලන් ආ මග දිගට 
නුඹව සනසපු අතු ගංගා නම් බෝමය 
නවතින්න ඒ ගඟක් ළඟ 
නුඹට නොහිතුනු අරුමය...

ගෙවා දාහක් බාධක 
විඳිත් අපමණක් කටුක බව 
ගලා ආවද නුඹ මහ සයුරට  
ඒ ලොවට නුඹ ක්ෂුද්‍රය.. 
නොහැරෙන්න බැරිතරමට 
නුඹට නුඹ මගහැරී අහවර...

හෙට ඉර රැසින් උඩ යන 
අංශුවට කොඳුරා කියාපන්,
වැහිබිඳුවක්ව වැටෙන කල 
උඹ උපන් කඳු ශිකරෙට 
නවතන්නයැයි හීනි දියදහර 
නොඉපදෙනු පිණිස තව ගඟක් 
නුඹ වගේ විඳවන..

Monday, August 17, 2015

පෙරවදන මම, නුඹය පසුවදන

පෙරවදන මම, නුඹය පසුවදන 
එකම පොත් පිංචක 
පරිච්චේද, පිටු බෝමය 
නුඹත් මාත් අතර 
මේ හිතේ හීන ගැන 
කියා එව්වත් 
පිටුවෙන් පිටුවට 
පවසාවි එය නුඹට 
අන්තිම පරිච්චේදය
ඒත් නුඹේ සිතුවිලි ගැන 
දැනගන්නේ කෙලෙසද මම? 
කව්රු කියවාවිද 
පොතක් අග සිට මුලට..



Saturday, June 27, 2015

දැවෙන ඉර...

ඉර නුඹට තේරුම් ගියදාක 
සඳ යැපෙන්නේ උඹෙන් මිස 
උඹ සඳෙන් යැපෙන්නැති වග... 
උඹ දැවෙන විඳවන තරමටම 
සඳ දැවෙන්නේ නැතැයි කිසිවිට...

ඒ දාහයෙන් උපන් ආලෝකය 
සඳෙන් නොවෙහෙසී තරු විඳින වග 
සඳත් රහසෙම තරු හා බැඳෙන බව 
නුඹ නිදන හැම රාත්‍රියකම... 

නිසැකවම හති වැටෙයි දවසක 
දැවී දැවී එළිය දෙන නුඹ 
සනසන්න ජීවය බිඳක් පිඹ 
සඳ හැරේ යයි නොසිතන්න කිසිවිට...

ඒ සත්‍ය නුඹ උගත් දවසට 
හිත වුනත් දෙස් දේවි නුඹහට 
දැවෙනු හැරියේ ඇයිද නුඹ ගත 
අයාලේ යන සඳක සතුටට...

Thursday, June 18, 2015

ආදරය සහ අපි..

ජීවිතේදි ලැබෙන 
අංශුමාත්‍රික අත්දැකීම් වලින් උනත් 
ටිකින් ටික පරිණත වෙන අපි 

ඒ පරිණත කම 
ලෝකෙටම බෙදන්න 
උත්සුක වෙන අපි 

අමිහිරි අත්දැකීම් 
දහසක් වේදනාවන්ගෙන් 
මිදෙන්නට වෙහෙසෙනා අපි 

ආදරය නම් ප්‍රපංචය තුල 
ළදරුවන් ලෙස 
බොළඳ වන්නා වූ හැටි 

විඳවමින් උනත් 
නිරා දුක් කඳු පිටින් 
ඒ වැරද්දම ආයේ ආයේ 
නොනැවතී කරනා හැටි...

Sunday, June 14, 2015

හිරු...නුඹ බොළඳ

හිරු නුඹ.. බොළඳ 
දැවි දැවී විරාමයක් නැතිව 
බෙදා හැම රැස් සඳට, 
සඳු තරු හා වෙලෙනු දැක 
සුසුම් සලනා අරුමය 

හිත තලන මතකය 
නිසා තව තවත් දැවෙමින 
පසුතැවිලි දහසක් මැද 
වුනත් සඳ අඳුරෙද 
සොයා නෙත් තවම වෙහෙසන 

විරාමයක් නොම ගෙන  
නොදී සුව ගිලන් හිත හට 
සඳ ගැනම දවසම 
සිතා සිත වෙහෙසන 
හිතුවක්කාරයා හිරු නුඹ 

නුඹ දැවී උපයන  
රැස් නොවේනම් ළඟ 
අහම්බයකින් වුව
නොදකීවී නුඹව ඒ සඳ 

ඒ පරම සත්‍යයය
දැන්වත් හිතට අරගෙන 
හැංගියන් පොලව පිටුපස 
අලුත් හුස්මක් ගෙන 
දැවෙන හිතට නිවන්නට.. 

Tuesday, June 2, 2015

ඉබාගාතේ යන හිත..

හිත ගත්ත එක හිතක හරි 
නවතින්න දොර ඇරුනනම් 
ආදරයේ ශේෂයන් 
මේ තරම් ගොඩ නොගැසුනානම් 
උහුලන්න බැරි බරැති හිත 
යන්තමින් අඩු වෙන්න තිබුනා

අනන්තවූ වැරදීම් මැද 
එකම එක හරි මගක් වී නම් 
අඳුරු කළු අහුමුලු අතර 
කදෝපැණි එලියකදු දුටි නම් 
ගාට ගාටා වැටී නැගිටී 
ජීවිතේ තවදුර යන්න තිබුනා 

පෙර මහා වන අතරමංව හිඳ 
ඉබාගාතේ ඔහේ ඇවිදි කල 
කටු පඳුරු වල පැටලී හිරවී 
තැලී සීරී බිඳුන හදවත  
සුව කරන්නට අයෙකු වීනම් 
හිස් උනත් හිත නොබිඳෙන්න තිබුනා 

අහස සයුරත සිඹින සිතිජෙක 
ගොම්මනේ තනිවෙන්න හැකි නම් 
හිතේ බර උඩු සුළඟටම දී 
බිඳක්වත් වත් සැනසෙන්න තිබුණා.. 
හිත මෘදු කරන කඳුළු ටික 
හලා හිත තද කරගන්න තිබුනා... 

Saturday, May 30, 2015

දයාබර හිත..

දයාබර හිත,

සෙනේහෙන් උඹට ලියන 

අන්තිමම ලියමන..

බලපං උඹේ හැටි 

බටර් තලියක් වගේ 
පොඩි රස්නෙටත් උණු වෙනවා..

ඒත් අනන්තවත් අර 
උඹ වගේම හිත් ඉන්නේ 
කළුගල් පර්වත වගේ..
ඇයි උඹටත් බැරි 
ඒ වගේ වෙන්න?

හිතුවක්කාර කම් 

ලැජ්ජනැති කම් 
ටිකකට නවත්තල 
මටත් ලජ්ජා නොකර 
රටවටේ නොයා ඉඳපන් 

බැරිමනම් යන දේවාලෙක පලයං 
හැබැයි මගේ මොලෙයි.. හදවතයි..
ඉතුරු කරලා මට 
මොකද ඒවා මගේ... මගේ විතරමයි..

Friday, May 22, 2015

මංගල කිංකිණි!!

පත්තර පිටුවක
අඟල් ගානක ඉඩක
මනාලියෝ හොයන,
මනාලයෝ හොයන,
දැන්වීම් වල
සීමිත වචන පෙල
වත්කම්..උගත්කම්..
කුලය.. පාට ගැන
විතරක්ම ලියවෙන.. 

සොයන්නේ කොහොමද?
ඒ වචන ටික තුල
අනාගත සහකරු, සහකාරිය 
ගතිගුණ හැසිරීම් ගැන 
යන්තමින්වත් නොදැන... 
අන්නතවත් මඟ හැරෙනවා ඇති 
මහ බඹුන් මවපු බන්ධන 

නුහුරු නුපුරුදු උන් විලසට 
හමුවුනා මදිවට පත්තර පිටුවක 
බැඳේන්නේ කොහොමද? 
අපි අපිව නොදැනම 
නොකියා මගේ හීන ගැන 
නොඅසා ඔබේ හීන ගැන 
හදන්නේ කොහොම එක වහලක් අප? 
නොදැන නුඹ මාව.. 
නොදැන මා නුඹව..

Thursday, April 30, 2015

මැයි පලවෙනිදා..


හෙට උඹලගේ දවසලු
දවස් 364ක්ම කඹුරලා
උඹල රජ වෙන
එකම දවස ඒකලු

ඉතින් පාන්දරම ඇහැරිලා
තහඩු බස් එකේ පොරකකා
වරෙවු කොළඹ නගරෙට
ඉඳියි සුදට පේවිලා
උඹලගේ මහ එකා

කට ලුණු රසට කෑගසා
සුදට හැඳි උන් එක්කලා
හිස් අහසටම ගතු කියා
වරෙව් ගම මත් වෙලා

එක පැයක් නිදියලා
පටන් ගන් ආයෙත්ම
දවස් 364න් පලවෙනි දවස
දෙවියන්ට පේ වෙලා

අයිතිය උඹෙන් උදුරලා
ගත්ත උන් එක්කලා
සරා කොළඹ වීදී පුරා
අයිතීන් ඉල්ලලා
බැනපං අහිංසක දෙවියන්ට
නුඹල ගැන බැලුවේ නෑ කියා

නැගිටින්න අලු ගසා
හෙට ඉරක් පායයි කියා
වරෙන් ලබන මැයි දිනට
හැම පාට කොඩි එක්කලා
ගාලු මුවදොරට නොව
මහ උන්ගෙ මන්දිර කරා..

Monday, April 20, 2015

බිඳෙන සිත

සුළගිල්ලෙන් වුව 
කඩා බිඳ දැමිය හැකි  
වීදුරුවක්, 
දෑතම වෙහෙස කෙරුවත් 
කල්පයකින්වත් 
එකතුකළ නොහැකි බැව් 
පෙර තිබූ අයුරින්, 
තේරුම් නොගනී නුඹ 
වරක් නොව සියවරක් කීවත්..

හිතත් ඒ වීදුරුව තරමටම 
සංවේදී බැව් 
දැනුම් තේරුම් නැති නුඹ 
එය බිඳ දමන තරමට 
කාලය උනත් හති වැටිලා ඇති 
හදා බිඳුන හිත මෙතරම්..
ඔහේ තිබුනදෙන් 
මේ බිඳුණු අසම්පූර්ණ හිත 
නුඹ ඈතින්ම ඉඳපන්..

Saturday, April 11, 2015

ගුරු - සිසු..

ගුරු මුෂ්ටි නොතියාම 
කියාදෙද්දී මං 
කුලුඳුලේ ආදරය 
හිතුවේම නෑ මං 
වේගවත් බව නුඹ 
මේ තරමටම 

සත්තයි උඹේ වේගය ගැන 
යන්තමින් වත් දැනුන නම් මට 
හෙමිහිට කියාදෙන්න තිබුණා
හුගක් බොළඳ, ටිකක් පරිනත  
මගේ ආදර පාඩම 

එදා කෝඩුකාර වූ උඹ 
අද මටත් ආදරේ උගන්න හැඩ 
ගුරුවරුන් නම් 
ඇතිලු උඹට වෙන 
දන්නවානම් හොයා එවපන් 
උගන්වන්නට සිසුවියක් මට 

Wednesday, March 4, 2015

කාලයයි දැන් යන්න..

අහසකට හැකි වුනද 
තරුවකට ඉඩ දෙන්න 
අහසෙ ඉඩ අහුරන්න 
පුලුවනිද තරුවකට?

මහ ඉඩක් හිමි අහස
තනිවෙන්න ඉඩ දෙයිද 
එකම එක තරුවකට 
තරු පෙරුම් පිරුවාට 

ජීවිතය නුඹට.. මට..
ලංවෙන්න දුන්නාට 
නුඹේ ලොවෙ රජ වෙන්න 
ඉඩ දෙයිද ලේසියට?

ආදරයට විතරක්ම 
පුලුවන්ද නුඹේ ලොව
මගෙන් පුරවාලන්න 
නොදැනෙන්න හිස්බවක් කෙලෙස 

මිරිගුවක් බව දැනම 
නුඹ හඹා පල කිමද 
කාලයයි දැන් යන්න 
යලි එන්න නොහිතාම..

Wednesday, February 25, 2015

ආදරයට පසු?

හීනවල පාට පාට
හැංගෙන්න තනිවෙන්න 
හීන මවපු උඹ මම 
හිරවෙලා ඒ හීන තුලම 

අද අපේ වහලක් යට දකින 
ඒ හීන සොඳුරු නැත 
එදා නිල් අහස යට 
අපි දැකපු තරමටම 

සරළ පවුලක් වීම 
මේ තරම් බරයි දැනුනනම් අපට 
ඉන්න තිබුනා තව ටිකක් කල් 
නිල් අහස යටම 

හොඳයි අපි නොපැතු එක 
දුර අහස අල්ලන්න 
නැතිනම් මේ වෙද්දී
හති වැටිලා අපි හොදට 

"ජීවිතෙත් ආදරේ තරම්ම 
සැහැල්ලුවට තිබුනනම්" නේද? 

Tuesday, February 17, 2015

දෙවෙනි ආදරය..

මතකද එදා දවස?
උඹ මගෙන් ඉල්ලුවා
"ආදරේ කරන්න මටම විතරක්" කියලා

ඔය බෝල ඇස් වලට එබිල
බොහොම බැරෑරුම්ව මං කියද්දි
"බෑ..මං ජිවිතේ දෙන්නෙක්ට ආදරේ කරනවා" කියලා

උඹේ ඇස් තෙත් වෙච්චි වේගෙට
විහිලුව දුර ගියා වැඩි බව දැනගෙන
"මං ආදරේ කරන්නේ උඹටයි අපිට ඉපදෙන දුවටයි" කියද්දී

ලජ්ජාවෙන් බරකරන් මූනම
අමාරුවෙන් තද කරන් හිනහව
"ඔය වගේ නපුරු විහිලු එපා" කීවට 

යන්නට ගියේ ටික කාලෙකින් ඈතට
එන්නට නොහිතා යලිත් කිසි ලෙස
තනියම අයිති කරගන්න වෙන්නැති මේ හිත

පුංචි ඉරිසියාකාරියේ කවදාවත් මම
ලැබුවේ නෑ ඒ දෙවෙනි ආදරය
හැමදාම උඹට විතරමයි මේ හිත
නැතත් උඹ ළඟ පාතක....

Sunday, February 1, 2015

අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව අපේ හීන ඒහැටි...

අනන්තෙට ඇවිදින්න - හීන පුරවාපු අපි 
දුර අහස අල්ලන්න - ප්‍රාර්ථනා කරපු අපි 
හැතක්මක් දුර යද්දි - මෙහෙම හති වැටුන හැටි 

බොළඳයිලු ඒ හීන - නුඹ ඉතීන් කියනා හැටි 
කළු කුඩේ හෙවන යට - දැක්කේ මං විතරමද?
ඒ හීන මේ හැටි.... 

අත් එකට පැටලෙද්දී  - අපේ හිත් වෙවුලපු හැටි 
අමතකලු නුඹට දැන් - ඉතිං ඇයි මටම විතරක් මතක?
අතීතය මේ හැටි...

අලුත් කුඩයක හෙවන යට නුඹ - නැවුම් ආලය හොයනා හැටි 
හොයා ගත්තම ලියා එවන්නම් - ආදරය හැමදාම එකලෙස 
නැවුම්වට රකිනා හැටි...

මං නැතුව හරි අනන්තෙට නුඹ - යාවි දවසක දුර නැති 
අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව 
අපේ හීන ඒහැටි... 

Sunday, January 25, 2015

හිස් අහස ඉඩ දෙන්න...

හිත නතර කරගන්න
අකීකරුකම් නොකර 
ආදරය බොහො දුරයි 
මග බලන නෙත් සනසන්න 
නුඹ මට අහිමි පුරාවත 
නුබ ගැබක් පුරාවට 
හීනි තරු කැට වලින් 
ලියා රැකගනු පිණිස 
හිස් අහස ඉඩ දෙන්න 
පෙම් පුරාවත පබදින්න... 

අතීතය මගෙන් දුර 
ඈතටම එළවන්න
සුන්දරම මතක ටික 
විතරක්ම රැක ගන්න 
හිස් අහස ඉඩ දෙන්න 
තරු රටා වලින් පබදින්න
ඇගෙත්, මගෙත් පෙම් පුරාවත..



Monday, January 12, 2015

ආදරණීය සහෘධයනි...

උපන් මව් බිමේ නමට
මවගෙන් බිව් කිරිවල ණයට 
යුතුකම් ඉටු කරන්නත් 
දොලපිදේනි ඉල්ලන 
අමනුස්ස රෑනක් මැද,
තානාන්තර මිල මුදල් තබා 
ගෞරවයවත් නොපතන
සැබෑ මිනිසුන් රෑන

රහමෙරද , කහවනුද 
නැතත් උන් ළඟ
රත්වුන ලේ මිසක 
මව් බිමේ දුක ළඟ,  
පාද නමදින්න උන් වටපිටේ නැත 
කටෝර සැලකිලි බැණුම් 
උන්ට නුහුරුද නැත 

නොලදත් ප්‍රශංසා ලෝකයෙන්  
උන් හෙලූ ලේ ගැන 
නොහැරී නොයා ආපසු 
දිගටම සටන් කරයි උන්, 
දත් නිසාවෙන්ම බරක් නොවෙන බව 
වැලලුනදාක මේ මහපොළවට...


(ජවිපෙ සහෘධයන්ට සෙනෙහසින්)


Thursday, January 1, 2015

RE: මුනුත් නළුවොද?

සලු ඛාන් ලා තරම් මස් පිම්බිලා නැති 
බෙන්ස් ඩිෆෙන්ඩර් පරිවාර නැති 
කෙසඟ සිරුරු හිමි අකීකරු කෙස් ඇති 
මනුවර්ණ ලාත් නළුවොද?
අසති සම-හරක්  මහ පොළව පාගා නැති

මිෂෙල් හර්ෆ්ට් ගේ අඩනිරුවත මතක ඇති 
මනුවර්ණලාගේ රඟපෑම් මතක නැති 
එහෙව් රටක අමන මිනිසුන් පිරි  
රංගධරයන් වූයේ කරුමෙකටද අපි?
සිතුනොත් නුඹලාට කිසි වරදක් නැති 

මේ අරුමැති ඩිස්නිලන්තයේ ඉපදුනු අපි 
සත්‍යට වඩා ෆැන්ටසි ප්‍රිය කරන නිසා වෙන්නට ඇති 
අමතක උඹල ඒ හිත්වලට මේ හැටි.. 
එහෙව් පරිකල්පන මැද "නැගී එන නළුවන්" වුනු හැටි
උන්ට නොවටිනවා උනත්, වටින උන් දහසක් ඇති 
නොසැලී ඉදිරියටම පලයන්, මේ අහස නුඹලාට මදි....