Tuesday, December 17, 2013

ආදරයට, විරහවේ නිර්වචනය!!

චපලයැයි කීවත් කවුරුන් කාට...
කෲරයැයි කීවත් කවුරුන් කාට... 
ආදරය නුඹ තරම් චපල, 
ආදරය නුඹ තරම් කෲර, 
වචනයක් තුන් ලොවම නැත... 

නුඹ සනසවයි නුඹව නොපතන උන්ව 
රිදවමින් නුඹව අයදින සැවොම... 
දැවෙන සිතකට ගිනිම පිඹිමින්ම 
සුදනෙක් ලෙසින් සිනාසෙන අරුම... 

සැඩ රලත් නුඹ තරම් රුදු නැත... 
අනෝරා වැහිත් සැපයි නුඹ ළඟ... 
අර බලන් නුඹ රැසින් අළු උන, 
සමනලියක් අද විඳින දුක් කඳ... 
බලන් එලියට රැගෙන හදවත  
සැනසීමෙන් බිඳක්වත් එහි වෙද?



Monday, December 9, 2013

අනාරාධිත කිරිල්ලිය

අනාරාධිත කිරිල්ලියක විත් 
හදේ කොනකින් ලැගුම්ලන්
හිස්ව අතහැර දමා තිබු සිත 
නැවුම් හැඟුමින් පුරවමින්.... 

නුඹට පෙර මෙහි ඉන්න ආ අය 
කරත් ඔය ටික ඔය ලෙසින්,
යන්න ගියේ උන් අතර මගකදී 
යනබවත් නොකියා හොරෙන්...

නුඹත් කවදාම හරි යන්න යාවි 
ඉගිලෙන්න හැකි උන සැනෙන්, 
කූඩු නොකරමි යදම් ලා මම 
ආදරේ වූවත් සිතින්.... 

ඉගිල ආවේ නුඹයි, කූඩු හැදුවේ නුඹයි 
මන් ලැගුම් දුන්නා විතරමයි, 
වචන නොකෙරුවත් සිතුවිලි 
නුඹට මන් හරි ආදරෙයි...

Tuesday, November 26, 2013

නිමක් නැති පැතුම්

නුඹත් නිල් අහසක් තරම් 
නිමක් නැති පැතුම් පොදි බැඳන් 
නැගෙන හිරු දෙස නෙත් අයන් 
බලා හිඳිති දුර කල්පයක් 

නැගුන හිරු දැන් බැස ගිහින් 
බලා උන්නු නුඹ පසු කරන් 
නුඹේ ලෝකය සඳු අරන් 
ඒත් නුඹට ගානක් නැති තරම් 

බලාපොරොත්තුවේ සවි අරන් 
නිරුදක කතරත් මල් දරන් 
බලාහිදිතැයි සිත දරන් 
දුවයි නුඹ මිරිගුව සොයන්...

Saturday, November 23, 2013

කහ, රතු රෝස...










කහද, රතුද, නොදත් රෝස මලක් ලඟ 
සිත නතරවීම නම් ශෝකාන්තයේ....
විඳින්නද කහ මලක් ලෙස,
නෙලන්නද රතු මලක් ලෙස, 
සිතාගනු බැරිව අතරමං වීම නම් ඛේදාන්තයේ....
උත්තර සොයන සිතත් හරියට 
ඇවිස්සුන කඩි ගුලක් වගෙයි 
එහෙමෙහෙ දුවනවා විතරයි.... 

ඒ සසල සිත නිසල වෙන්න ඉඩ නොදෙන 
නුඹත් හරියට නිසල දියකට 
රූරා වැටෙන පිනි පොදක් වාගෙයි 
මට මාව අමතක කරන....

Tuesday, November 19, 2013

යථාර්ථයේ ගායනාව!!

රොන් රැඟෙන ඉගිලයති 
අයාලේ යන සමනලුන් 
පිපාසව මියෙන කල 
අඳුරෙ රැඳී සලබයින්... 

මල් යදිති දැවෙන හිර රැස 
සලබ පහසින් වසන මෙන් 
හිරු අවර ගිය කලට  
සමනලුන් ලඟ සැනසෙමින්...

හිරු රැසින් දැවී ගිය තටුවක  
වේදනාවේ මිරිකෙමින් 
යලි ඇදෙති අඳුර වෙතටම සලබයින් 
මල් පහස නොව සුවඳ 
විඳින්නට බැරි උන සොවින්... 

Tuesday, November 12, 2013

හිතුවක්කාරියකට සෙනෙහසින් :)


රන් සිළුමිනක එලිය ගෙන
ජිවිතයක පැතුම් දල්වන 
නිසංසල සඳක් වගෙයි නුඹ 

ලයාන්විත වචන තුල 
නයන රසඳුන් අමුණන  
කිවිඳියකි නුඹ ලොවට 
කවිකාරකම් හුරුකරන!!

Tuesday, November 5, 2013

කෙලෙස කියමිද මෙයට ප්‍රේමය!
















සයුරු තෙර මම අදත් එකලෙස 
සයුරු රල නුඹ
විටෙක විත් මාව සනසන...
විටෙක විත් මාව රිදවන... 
හුඟක් ඈතක අනන්තයෙහි ඉඳ එන 
අතරමගකදී සුලඟ හා එක්වෙන... 

නුඹේ ආගමනය, 
විටෙක සැඩ උව... 
විටෙක නිසසල උව... 
නුඹට මා නැවතුමක් පමණය 

මගෙන් නුඹ හට, 
නුඹෙන් මා හට,
විරාමයක් මිස සැනසුමක් නැති කල 
කෙලෙස කියමිද මෙයට ප්‍රේමය!!


Wednesday, October 30, 2013

"කැරෝකේ" සමනළිය....

















සියුමැලි ගත දිගේ දෙවිමන් සොයන
රැලි ගැවසී වයෝවෘර්ධ ස්පර්ශයට
නොලදමුත් සැනසුමක් ලේ පාට කාසි මිස
නිසසලය ඇ සිත සසල සලෙලුන් අතර....

පස් ඉඳුරන්ම හිරිවැටීගිය නිමේෂෙක
කට කොනින් නැගෙන මදහසක හැඩ,
කියයි මින් එහා ඇති ඇගේ ලොව
රතු ගඩොල් මතින් නැගෙන බව....
බඩගිනිකාර පොඩිවුන් එහි වෙසන
කඳුළු පිස හිනැහෙන්න දරන වෙර....

තටු නැතත් එදා මෙන් දුර ඉගිලෙන්න
මල් නැතත් නුඹ යනෙන මග සරසන්න
ඒතරම් අඳුරු නෑ රැය යලි එන්න 
අතරමං වූ "කැරෝකේ" සමනළිය....



Sunday, October 20, 2013

තරු අරුන්දතී..
















තරු අරුන්දතී නුඹත් 
නිල් අහස වගේමයි 
ඒතරම් ඉඩ නැති උනත්... 
ඒතරම් ළඟ නැති උනත්... 

අවාරෙට එන වැහිකලුවකින් 
ගත වසාගෙන රුදුරු වෙන 
නිල් අහස තරමට නැති උනත් 
නුඹත් විටෙක මා රිදවන තරම් 
ගෙනෙයි මසිතට මහදුකක්... 

සඳුගේ ලොව රැජින වුනු නුඹ 
හිරුගේ ලොවෙහිත් ඉඩ අරන් 
නුඹට පෙම් බැඳී කතර අමතක
කරපු හැටි නම් පුදුමයක්...  

Tuesday, October 15, 2013

හිතම අම්බලමක්..















හිතම අම්බලමක් වගෙයි දැන් 
නාදුනන මිනිසුන් ලගින 
ගමන් වෙහෙස නිවනු මිස 
සදා කල් ඉන්න නොපතන..

ප්‍රාර්ථනා පුරෝගෙන 
බලා හිටි කාලයේ දිග 
සදාකල් ලැගුම් ගන්නට 
කෙනෙක් ළඟදීම එතැයි සිත.. 

ශ්‍රියාකත නම් ළඟක තව නැත 
වසා දමනෙමි යදම් ඇද දොර 
නොහැකි වන ලෙස ලැගුම් ගන්නට 
අයාලේ යන පරසතු පියුමකට!

Wednesday, October 9, 2013

නිමේෂය...

පහුගිය අවුරුදු එකහමාරෙදි මෙතන ලියපුව පොඩි pdf එකකට එකතු කලා...



Wednesday, October 2, 2013

මතක පොතක සටහනක්!!












සාරාංශ කෙරුවද,  අහස සම අප පෙම 
තනි පිටක ඉඩ සුසුමක් තරම්වත් නැත 
හිස්ව තබනු මිස පිලියමක් නැත තව...

මුල්ම පිට අන්සතු බැවින් නොව 
රෝස පිටුවක් නොලත් නිසා නොව 
නොලියමි කිසිත් අද එකම වදනක් හැර 
"නුඹට මා සිහිවේවි...... "

සුහුඹුල් අත් අකුරෙන් මුළු පොතක් ලිව්වද 
පෙරවදනවත් ලියා නිමකරනු බැරි 
නුඹ ගැන මගේ මතකය...

Wednesday, September 25, 2013

වියපත් ප්‍රාර්ථනාව...










උදා වේ නම් හිමිදිරිය යලි
සිසිලසත් ගෙන පෙරලෙසම, 
දහවලේ හිරු රැසින් කරවුන 
ආත්මයම සනසා පිනි බිඳින් 
ඉඩෝරය නිමා කරනට... 

හැකිනම් අඳුරු රැය වෙනුවට 
මිහිරි හිමිදිරිය ගන්නට, 
දුකක් නැත සින්න වූවද 
හති දමන ආත්මය... 
දුකක් නැත අහිමි වූවද 
තනාගත් ලෝකය... 
යන්න හැකිනම් බාලවිය වෙත 
අත් හරිමි ලෝකයම මම... 

Monday, September 23, 2013

"බැඳීම් මහ කරදරයක්"

"බැඳීම් මහ කරදරයක්" 
බැඳුනු උන් කෑගසති.. 
අමතක ලෙසින් අතීතය 
බැඳීම් ඉහලින් පැතුව, 
තනිකම පාපයක් යැයි 
ලෝකෙටම දෙස් තැබුව..

හෙම්බත්ව බැඳීම් මැද
උන් නගන විලාපය, 
තනිකඩ ලොවක් ගැන 
උන් මවන සිහින කඳ,  
කියාදෙයි ලෝකයට 
බැඳීම්වල අනියත බව... 



Tuesday, September 17, 2013

වෛශ්‍යාවකට පෙම් කරමි...











හමාර විට වසන්තය 
දුර නොදැන ඉගිල ගිය 
වැළපෙනා ගැහැණු සිත
යදියි එක් හදවතක් 
සින්නකරට ලැගුම් ගන්නට....

නොයිදුල් කඳුළු වල 
වංකකම් එපා වුනු තැන,
සියලු රොන් උරා බී 
හමාරකල මලක් ලෙස, 
ලෝකයෙන් නෙරපා හැරිය 
වෛශ්‍යාවකට පෙම් කරමි,
දැන දැනම අවාරෙක නොපිපි මල
සුවඳ බව හැමට පෙර....

Sunday, September 15, 2013

අතීතාවර්ජන!!!

 නුඹේ අන්තිම මැසේජයෙන් වසරකට පසු සටහන් තබමි!!!

ගොඩක් ඈතයි හිතපු මතකය..
නොදන්වාවිත් පාරන කලට හද...
දුර කොයිතරම් උවද අප මැද..
එන්න හිතුනා ලොවම අතහැර...

මේ මුළු අවුරුද්දෙම කළා වගේ ඔයා මේ මැසේජ් එකත් කියවාවි..එත් රිප්ලයි එකක් එවන්නේ නැත්තේ ඇයි කියල මන් තියා ඔයාවත් නොදන්නවා ඇති ...

"happy to know that you're still there..i thought you're not using this profile now" 

මේ ඔයාගෙන් ආපු අන්තිම මැසේජ් එක...

9/22, 9:48pm
You
man hodatama adala dan aharune

9/22, 9:49pm
Me 
apoi..babek welane..dan digatama gedarata welada inne??

කොයි තරම් ඈත් වෙන්න හිතුවත් මගෙන් , මීට අවුරුදු 4කට කලින් මන් ඔයාව දැක්ක වෙලේ ඇතිවෙච්චි ආදරය එහෙම්මමයි..තාමත්!!!

Thursday, September 5, 2013

දුරක ගිය අතීතය!!!












   

                                
ළඟක සිටියානම් නුඹ - කියනු ඇත ලොවටම 
නුඹට මා බැඳී පෙම - අදින් දස වසක සිට 
නිසැක නුඹ විඳින බව - මා ද විඳවන දුක   
බිඳක්වත් අඩු නැතිව - උවද ඔහු නුඹ ළඟ... 

පුදුම නැත මට තව 
ප්‍රේමයක්  නොලැබුන එක, 
විසල්ය ඒ තරමට 
නුඹෙන් හිස්වූ හිත 
වසනු බැරි තරමට 
කාගෙවත් පෙමකට... 

අඩු වුනත් විරහව - කාලයේ පහස යට  
පාරන්න තව වරක්  සිත - තත් දරයි ලෝකය 
උන් ලියති විවරණ - මගේ වර්තමානය ගැන 
අමතක ලෙසින් අතීතය - ආදරය මා වෙත වුන... 


Thursday, August 29, 2013

විදා හැර පෙති හිනැහියන්...

දගකාරකම් අමතක ලෙසින් අද 
ඇයි මේ තරම් සබකෝලකම්? 
විකසිත වෙන්න නිමේෂයයි තව 
මල් කැකුල, අහසක ඉඩ අරන්...

හැරෙනු බැහැ දැන් ආයේ යන්නට 
ඇවිත් අපි දුර ඒ තරම් 
ඈතකින් හිඳ සිනාසෙනු කීම 
බැඳුනු අප අද රන් හුයෙන්... 

සිව්වසක පෙම මල් දරන දින 
නුඹ මගේ ළඟ කුලුඳුලෙන් 
මේ මගුල් රැය අඳුරු නෑ තව 
විදා හැර පෙති හිනැහියන්...



Sunday, August 25, 2013

අහපන් හිතුවක්කාර හිත...











යලිත් පෙම් නොකරමියි 

සපථ කරගත් සිත..
යලිත් වෙර දරයි 
ලැගුම් දෙනු පිණිස 
කාගේ කවුරුන්ද නොදත් 
කෝඩුකාර මලකට.. 

මගෙන් නාසා පෙරත් 
නුඹ කලේ මේකම,
වරක් නොව සිව්වරක් 
උරුම විය විරහව... 

ඉවසමි එහෙත් මේ වර 
තනිව ඉන්නවට බැරි නිසාවෙන්,
මට නොවෙයි නුඹ හට.. 
උරුම වූවොත් පෙර දුක 
එලවා දමමි නුඹ 
මගෙන් දුර ඈතට...

Thursday, August 22, 2013

සඳු විඳිති හිරුගෙ ලොව!!!












තනිකඩය හිරු තවම

දෙන නමුත් ලොවට රැස,  
හිරු එලිය සොරාගෙන 
අවරගිර රජ කරන 
සඳ අයිතිකාරකම් කියති 
හිරුට හිමි තරුවලට...

දැවෙන උණුසුමට බිය 
තරු ඇදෙති සඳු වෙතට 
උන් නොදන්නී සීතලද 
මරණීය බව ගිනි ලෙසම...

හිරු සිනාසී බෙදති හිරු රැස 
බිඳක්වත් අඩු නැතිව 
දැන දැනම තම බලය 
විඳින්නේ සඳුම බව, 
ඒත් සලති කඳුළැල් විටෙක
අඳුරු වලා මැද සැඟවහිඳ... 

Friday, August 2, 2013

නොහඩන්න ලක් මව...














සුජාත පුතුන් වැදු ඇය 
හඬති උන් රඟන යුරු දැක 
සොයති ඇය කෙලෙසූ දන
වල් වැදුනු පින්බිම...

මාර සෙන් නසනට 
යුද වැදුණු දරුකැල  
කුලල් කාගනු දැක 
සුසුම්ලයි මහමෙර...

ජාත උව පින් බිම 
මේ මිනිස් ගතිමය 
පරිනාමයද පැරදුව 
නොහඩන්න ලක් මව...

ගොඩ ගලති සමුදුර 
ගිගුම්ලති නිලඹර 
එක්වේවි  නසනට 
කුලල්කන මනු කැල.. 

Thursday, July 25, 2013

ආත්මයක දෝංකාරය...

මම....
දැවී මියයන බව දත් නිසාවෙන්,
ගිනි ගොඩක සැතපෙන්න බිය නොවෙමි
හුස්ම හිරවී මැරෙන බව දත් නිසාවෙන්, 
ගැඹුරු දියටද බිය නොවෙමි

නමුදු....
කවදා , කෙලෙස 
මා විනාශය වේ දැයි 
දැනගන්න මා කැමති නිසාවෙන් 
මිනිසුන් මැද තනිවෙන්න 
අප්‍රමාණ බිය වෙමි..

Wednesday, July 24, 2013

තටු අහිමි සමනලිය..

තානායමක සෙවන යට
කවුලු තිර දහවලද ‍රැය කල
සින්නවිය කුලුඳුලේ ආදරය
අවිචාර පෙමක් ලඟ

කනාමැදිරි එලිත් නුහුරු ඇය
අන්ද විය හිරුගෙ ලඟ
පල නොමැත අසා අද
නොසිතුවේ කිමද නුබ
දැවී ගිය පසුව ඇය
බන දෙසා කිමද පල?

නොසිතන්න සයුරකියි ඇය
නො‍රැදෙන ගමන් මග
වරක් නැව් ගිය මගක...
ත‍ටු අහිමි සමනලියක්ය ඇය
වරක් දුර ඉගිල ගිය...

Saturday, July 13, 2013

නො එනුමැන මා වෙතට!!












නොකරන්න එබිකම්
හුදෙකලා සිතට මගේ
හති වැටී නුඹද යාවි
පෙර සිටියහැම ගියලෙසේ

හැන්ගීම් නොදැනුනි
ලෝකයම හැර ගිය දිනේ
එත් නුඹ අහිමිවෙයි බිය
හිතින් අත්හල හැකි නොවේ

නුඹ ගියද, පැමිණියද 
ආදරය මායවක්ම වේ
මැකී යනුමැන නුඹේ මතකය
රැගෙන අප හමුවුන දිනේ

Tuesday, July 9, 2013

නිරර්ථක මදුසමය!!











නිරර්ථක මදුසමය 
පැතුම් පොඩි ඉරී විසුරුණ
ලෝකයට කෑගසා කියනට 
සම්මතය ඉඩ නොදුන් කල 

ගිනි දැවෙන වතුර විය 
ආත්මය සනසන්න 
කඩා හැරී ජීවිතය
මතින් සෝදාලන්න

සිත ගැටුම බිරිය නොව 
හෙට බඳින පළමු පෙම
කෙසේ දේවිද ඔහුට ඇය
තමා ලඟ බිඳුණු සැම..


Tuesday, July 2, 2013

පතිවත සොයති පතිනිය...












අඩක් හැරී පෑල දොරෙන්
පලා ගොස් පතිනිය
සොයාගෙන පතිවත...

සේවුවද දස අත
නොදැක ඒ පතිවත 
හඬති පතිනිය 
කුමක් වූවේ වෙද
ඈ රැකු පතිවත...

ඈ නොදන්නීමය
විවුර්ත වූ ලොව
බැඳීම් ද"Open" බව... 

Wednesday, June 26, 2013

යකෝ THIS IS MY WIFE!

අද 138 බස් එකේදී වුනු රසබර සිදුවීමක්!!

කිරුලපන රෝයල් ඉන්ස්ටිටියුට් එක ළඟ හෝල්ට් එකේ බස් එක නවත්තන් හිටපුවෙලේ බස් එකට නැගපු හැඩිදැඩි තරුණයෙක් බස් එකේ ඉස්සරහ හිටපු තරුණ ජෝඩුවක පිරිමි ළමයට ගහන්න ගත්තේ "යකෝ THIS IS MY WIFE!" කියමින්.ගෑනු ළමය "අයියේ ගහන්න එපා" යැයි කෑගැහුවත් හැඩිදැඩි තරුණයා අනික් තරුණයාවත් ඇදගෙන බසයෙන් බැස්සේ "කෝල් කරපන් පොලිසියට" අවට සිටි උන්ට කෑගහමින්..ඒ වෙද්දී තරුණයගේ කටින් සෑහෙන්න ලේ ගලනවා..මේ මොහොතේ බස් එක එතනින් පිටත්වූ නිසා මෙයින් පසු සිදුවීම මා නොදැක්කත් මේ සිදුවීම මිනිත්තු 2ක කාලය තුල මාව ලොකු කමපනයකට ලක් කළා...

මට මතක් උනේ මීට ටික කාලෙකට කලින් මම ලියපු කවියක්,ඒ කවිය ලියවුන හේතුව වෙන එකක් උනත් එහි අර්ථය ගොඩක් මේ සිද්දියට ගැලපෙනවා කියලයි මට දැනෙන්නේ...මේ ගැහැණු ළමයා පෙනුමෙන් ඉතාමත් වැදගත්, සුන්දර ඒ වගේම ඔසරියක් ඇඳන් උන් එකියක්.අඳින ඇඳුමෙන් හැදියාව මනින මීහරකුන්ට මේක හොඳ පාඩමක්...

මෙහි සැමියා හෙවත් හැඩිදැඩි තරුණයාගේ ක්‍රියාව ගැන කිවයුතුව ඇත්තේ, WIFE යනු තමන්ගේ සින්නක්කර දේපලක් නොව පරාන බුක්තියට තමන්ගේ උන එහෙත් CGR එකට අයිති ඉඩමක් වැනි දෙයක් බවයි...උඹ කන්න දුන්නට,උඹෙන් යපුනට අයිතිය වෙන එකෙකුගේය...CGR එක රේල් පාර ලොකු කරනවිට අපි ඉඩම් හැරයා යුතුය..විවාහය යනු ගැහැණිය හෝ පිරිමියා වැරදි කාම සේවනයට යාම වලකන බැම්මක්ද නොවෙයි...එය එසේනම් විවාහක අය තුන්වෙනි සිල් පදය පන්සිල් වලට කිව යුතු නැත...

ගෑනුන් සුළඟ වැනිය...එහි පහස විඳිත හැකිමුත් රඳවා තබා ගනු නොහැක....

(මේ සිද්දිය උනු ගමන්ම මන් කලේ මට එහාපැත්තෙ ඉඳපු නංගි අන්මැරිඩ් බව කන්ෆර්ම් කරගැනීමයි ^_^  )




Tuesday, June 18, 2013

මුලාව...


තැවරුවත් නෙක වර්ණ
සුවඳ පිරි පුයර
වෙනස් කම කිම
නිරුවත් දෑසට පෙනෙන?

විලවුන් සුවඳින් සගවනු නොහැක
පරාජිත බැලුම් නුඹ හෙලන
වැසුණු ඇසිපිය කියන
අහිමිවීමේ දුක...

හැඟුම් සඟවනු නොහැක
විල්ලුද රෙදි කඩින් පිස
නුඹ! පිටස්තරයෙක්මැයි
තබනු තුරු පය
ෆැන්ටසියෙන් ඔබ්බට...

Monday, June 10, 2013

නික්මගිය නුඹ...


නුඹ...
වෙනස් වෙන ලෝකයේ
වෙනස්කම් පිරි මිනිසුන් අතර 
තවත් එක ගැහැනියක්ම පමණකි 

නමුත්...
මා පුදුම කල කරුණනම්
බැඳීම් ස්ථීරයි කියූ නුඹ 
නොහදුනන සේ ඉවත යාම 

ඒත්...
එහි පාඩුවක්ද නැත 
නුඹ ගියපු තැන සිටම 
අඳුර මට තනි රකින...


Friday, June 7, 2013

අසම්මත..ප්‍රේමය...













උණුසුම්ය...රාත්‍රිය...
ගිනියම්ය...ප්‍රේමය...
නිවාලන්න සිනිදු තටු වලින්
අන්ගනාවී යලි එන්න...

අතරමන් කල පෙර දිනක
නුඹ පහස රැඳී අතීතය...
අලුගසා දා අවදිකළ මැන
වල් වැදුන ජීවිතය...

ගිනි වැකුන ලොවෙන් දුර
ඈතකට ඉගිලෙන්න
දෑගිලි බැඳී බැඳුම් බිඳ
ඔබ එන්න....
 අසම්මත ප්‍රේමය වෙත...

Monday, May 27, 2013

අහෝ!! ලක්දිව..



උඹ මොකද ලතවෙන්නෙ
දුවපන් හයි අරන්
හදවතේ හිල උනත් 
ඔරොත්තු දෙයි මේ ටිකට...

යකෝ අර කාසි අහුරු 
උඹ මලත් අපිට හරි 
ඇරත් මේ අපිම නොව 
ලෙඩ උඹට දිරිදෙන්නේ 
ඉතින් දුවපන් අපායටම...

උඹ මලත් අපි නොවෙයි 
මේ ගමන නවතින්නේ
අපිත් උඹ මගම 
කාසි ටික ලත්විගස..

උඹේ මරණය උඹට නොව රටට 
රට කියන්නේ අපිම නොවැ 

කැමරා ලෑස්ති 
වතුර ලැස්ති 
ඇයි හෙලිකොප්ටර්...

අහෝ මව්බිම නමට 
දිවි පුදපු ඒ පුතුය 
හදවතේ හිලක් සහිතව...
මේ කිඹුල් කඳුළු නුඹටමය...

Wednesday, May 15, 2013

හිමිකමක් නැති පණුකම....

ජීවිතයේදී අපට හමුවනසෑම ඇපල් ගෙඩියක්ම පෙර පනුවෙකු විසින් කාදමනු ලැබුවාවූ හෝ කමින් පවතින ඒවා වන අතර අපද පනුවන් වන මුත් දෛවය නමැති බලය අප හා සමජාතී වීම හේතුවෙන් අප ඇපල් හා ලං වූ කල්හි විකර්ෂණය වීමක් දක්නට ලැබේ...දෛවය හා විෂමජාති වූ පනුවන් එකී ඇපල් රස විඳිද්දී අප එම ඇපල් දුරින් සිට සිතින් රසවිඳීම මිස ඇපල් කෑම ගැන නොසිතිය යුතු වන්නේ එහෙයිනි...
@ ඔලුවට වැටුණු පනුවන් කෑ ඇපල් ගෙඩියක් දැක...

Friday, May 10, 2013

මෙය "සංස්කෘතිය" නම් විය..












මෙපුර දන කැල
සොයති පතිවත
යාර හයක් දිග
රෙදි කැබලි වල..
දකිති උන් වෙසගන
මිනි ගවුම් තුල..

කන්‍යාවක්ම නොවුනද
සැතපුනත් සිය ලඟ
අඳී නම් සාරිය
වේය ඇය දෙවගන ..

මෙය,
"සංස්කෘතිය" නම් විය..

Wednesday, May 1, 2013

ආදරය...විරහව...අතරමැද !!

ආසාවටවත් කෝල් එකක් ආපු නැති මගේ ෆෝන් එකට දැන් නම් නිවනක් ඇත්තෙම ඇත්තෙම නෑ වගේ..ඇත්තටම මේ මාස දෙකට මගේ ජිවිතේ කොයිතරම් වෙනස් වෙලාද? ඉස්සර ෆෝන් එක රිංග් වෙන වාරයක් පාසා මන් ඒකට හිතින් බනිනවා..ඒත් දැන්,තප්පරයක් තප්පරයක් ගානේ ඇහැ යන්නේ ෆෝන් එක දිහාවටමයි..ආදරෙත් වෙලාවකට පුදුම දෙයක් කියල හිතෙනවා.නැවෙන්නෑ කියල පුරසාරම් දොඩපු මමමද මේ?

"සමී! 4.30 වෙද්දී ටවුන් හෝල් එකගාවට ආවම ඇති ළමයෝ..කලින් ඇවිත් රස්තියාදු වෙන්නෙපා..පරිස්සමින් ඩ්‍රයිව් කරන්න හොඳේ ? " හරි කියල මන් ෆෝන් එක තිබ්බේ ඇත්තටම ඒ වචන ආපහු මතක් කරමින්.. රස්තියාදු වෙන්න? කොල්ලෙක්ට කුළුඳුල් ආදරේ වෙනුවෙන් රස්තියාදු වෙන්න බැරිනම්,උන් රස්තියාදු වෙන්නේ නැති නම් ලොකු පුදුමයක්.ඇත්තටම මන් ආදරේ කරනවා ජිවිතේ මුල්ම වතාවට.ඒ වෙනුවෙන් මන් ජීවිතේම කැපකරලා ඉවරයි.එදා ජයික් හිල්ටන් එකේ නිම්නා දැකපු මුල් දවසේ ඉඳන් ගතවුණ හැමතප්පරයක්ම මන් මගේ ජිවිතේ ආදරේ වෙනුවෙන් මහන්සි වෙනවා.

උදේ අටේ ඉඳන් මගේ හිතත් එක්ක කරපු යුද්දෙ නතරකරන්න වෙලාව හරි,දැන් හැමදාම එකම විදිහ උනත් දවසේ මන් ආසම පැය කීපය පටන් ගන්න ලඟයි. ඔෆිස් එකේ ශාන්ත පරිසරයෙන් මිදිලා මන් හැමදාම ආදරේ කරපු ඒ කලබලකාරී කොළඹ නගරයේ වාහන තදබදය එක්ක මුසුවෙද්දීත් මන් හිතුවේ නිමනා ගැන විතරමයි.කොහොමත් මේ ටිකේම මන් වෙන දෙයක් ගැන හිතුවනම් ඒ බොහොම කලාතුරකින්.

හරියටම හතරාමාරයි,නිම්නා කියපු තැන කියපු වෙලාවටම,මන් ගොඩක්ම කැමති එයාගේ මේ කීදේ කරන, කරන  දේ කියන චරිතයට..හිනාවක් මුනේ පුරවගෙන කාර් එකට නැග්ග ගමන් කියපු මුල්ම වචනේ "ඩච් හොස්පිටල්" ඇත්තටම ජිවිතේ මන් යන පාර තීරණය කරන්න එයාට අයිතිය තියෙනවා,එත් මීට ටික කාලෙකට කලින් කෙල්ලෙක් දෙයක් කිව්වනම් මන් කරේ එකේ අනිත් පැත්ත.අද මම කොච්චරනම් වෙනස් වෙලාද? ටවුන් හෝල් ඉඳන් ඩච් හොස්පිටල් එනකම් අපි සෑහෙන්න හිනාවුණා,කතා කලා.ආදරේට කෝඩුකාරයන් උනාම එකේ වරප්‍රසාද උපරිමෙන් විඳින්නත් එපැයි.වාහනේ රෙස්ටුරන්ට් එක ලඟින් පාර්ක් කරල කෙලින්ම ගියේ අපේ පුරුදු මේසෙට.පහුගිය මාස ගානම අපි කියන දේවල් අහන් ඉඳල මේ මේසේ අපිටත් වඩා අපි දෙන්න ගැන දන්නවා මයේ හිතේ...පුරුදු ඔරේන්ජ් ඩ්‍රින්ක් එක ඕඩර් කරපු අපි ඒක එනකම් භාවනාවක,එකිනෙකාගේ ඇස් දිහා බලන්.මෙච්චර වෙලාවක් කතාකරපු හැමදේටම වඩා ඒ මිනිත්තු පහේ අපි අදහස් හුඟක් හුවමාරු කරගත්තා..මුලින්ම නිම්නා "සමී මන් ඔයාට ආදරෙයි "කියපු මොහොතේ ඉඳන් මේ වෙනකම් ඔයා මාවත් මන් ඔයාවත් කොයි තරම් තේරුම් ගන්න ඇතිද?ජිවිතේ පලවෙනි ආදරේම මේ තරම් හිතට ලංවෙන්න අපි කොයිතරම් පින් කරල ඇද්ද?.... ඒ වෙලාවෙම ආපු බීම වීදුරුව තොල ගාන ගමන් අපි කතාව පටන් ගත්ත.විශේෂ දේවල් නෙවෙයි එදා දවසේ ඔෆිස් එකේ වුනු දේවල්.සීරියස් කතාවකට යන්න එතරම් හදිස්සියක් අපිට නෑ ,මොකද මේ අපි දෙන්නගේ දවස පටන් ගත්ත විතරයි.තව පැය දෙකක් තුනක් ඒ දවසින් අපිට ඉතුරුයි.ඒ අතරෙ නිතරම නොවෙන දෙයක්,මගේ ෆෝන් එක රිංග් වෙනව..නිම්නා මගේ ළඟ ඉද්දිත්.

හ්ම්! හිතුව හරි..තමීරා... "සමීර..ඔයා ගෙදර එන්න වෙලා යයිද? අද රෑට අම්මලාගේ දිහා යන්න තියෙනවා..ඔයාට අමතක නැනේ? හෙට උදේ මල්ලිගේ ෆ්ලියිට් එක..යන්න කලින් මස්සිනා පොඩ්ඩ බලල යන්න ඕනිලු.. ඉක්මනට එන්න හොඳේ.." මට හෙලෝ කියන වචනේ ඇරෙන්න වෙන මුකුත්ම කියන්න බැරි වුණා.කියනවා කියල මොනවා කියන්නද? ෆෝන් එකෙන් ඇහැ අයින් කරද්දීම දැක්කේ මන් මේ ලෝකේ ගොඩක්ම ආස කරන ඇස් දෙකේ මන් ආසම නැති ඒ අසරණ,අහිංසක බැල්ම.. "තමීරා අක්ක නේද?ඔයා ගෙදර යන්න සමී!!" නිම්නා කිව්වේ එච්චරයි..

අතීතය..(ගොඩක් දුර නැති!!)

ජනවාරි 17..ජයික් හිල්ටන් එකේ hrp අවොර්ඩ්ස් වලට මන් ගියේ තමීරාගේ බලකිරීමට.විශේෂයක් අකමැත්තක් නැතත් මට යන්න උවමනාවක් තිබ්බේ නෑ.එත් තමීරාගේ තර්ක විතර්ක ඉස්සරහ හැමදාම මන් අසරණයි.බෝල් රූම් එකේ කොනකට වෙලා ඉද්දි තමීරා එතනට ආවේ තවත් කෙල්ලෙක් එක්ක.මන් දොර ගාව ඉඳන්ම හදන් ආව ව්‍යාජ හිනාව තව ටිකක් වැඩි කරන්ම මන් එයාට අතට අත දුන්නා...
"සමීර මේ අපේ ඔෆිස් එකේ නිම්නා නංගි, මෙයා ලෝ කොලේජ් එකෙන් මේ අවුරුද්දේ අවුට් උනේ..."
"නිම්! මේ සමීර මගේ හස්බන්ඩ්"
එහෙමයි දෛවය මගේම බිරිඳ හරහා මගේ ප්‍රථම ප්‍රේමය මට මුණගැස්සුවේ.. දෛවය මිනිසුන්ට සරදම් කරනවා  කියන එක මන් පිලිගන්නවා,ඒත් මට කලේ සරදමක්මද??

Monday, April 29, 2013

සම්මතය/අසම්මතය..මගේ ඇසින්...

සම්මතය අසම්මතය..අපි ජීවත් වෙන හැම මොහොතක් පාසාම අපේ හැන්ගීම් හිර කරන්න, නැත්තම් ඒවාට ඔහේ ගලා යන්න ඉඩ දෙන්නේ මේ දේවල් තමයි...ඇත්තටම සම්මතය යනු කුමක්ද??

"සම්මතය යනු බහුතර පිළිගැනීමයි.." ඒ මගේ නිර්වචනය,එහෙම බැලුවම අසම්මතය කියන්නේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන දෙයද?? අපි අඳින පළදින විදිහ ගමු, ඒකටත් සම්මතයක් තියෙනව.අපි කතාකරන විදියටත් සම්මතයක් තියෙනවා.අපේ හැම දේටම සම්මතයක් තියෙනවා.අපි ඒ සම්මතෙට අඳින්නේ,කන්නේ,කතා කරන්නේ අනිච්චානුගව කියලයි මට දැනෙන්නේ.මොකද අපි සම්මතය හරිද වැරදිද දන්නේ නෑ,ලෝකය පිළිගන්න දේම අපිත් පිලිගන්නවා..

එත් හැමදාමත් මන් අසම්මතයට ආදරය කලා, මගේ ජිවිතේ ආදරය ඉඳන් විරහව වෙනකම් හැමදේම අසම්මතයි.. බැඳීම් හැම එකක්ම අසම්මතයි.. මන් ඒ බැඳීම් ජිවිතේට ලන්කරගත්තේ ඒ නිසා වෙන්න ඇති... මට ලෝකේ හම්බුන ගොඩ දෙනෙක් සාමාන්‍යයි,ඒත් මගේ ජිවිතේ ලඟින්ම ඉන්න ගොඩ දෙනෙක් අසාමාන්‍යයි..ඇත්තටම ඒ  ජිවිත මගේ හිතේ සදාකාලිකයි..මොකද මන් අසම්මතයට ආදරෙයි!!!

ජිවිතේ නැතිවෙන්න කිසිම දෙයක් නැති,අලුතින් දේවල් ලන්කරගන්නත් අකමැති මට අසම්මතය අත්හදා බලන එක ලොකු විනෝදයක්...අනික් උන්ට වඩා වෙනස් නිසා උන්ගේ විවේචනයට ලක්වෙන එක මගේ විනෝදාංශය වෙලා...ජිවිතේ ඉගෙන ගන්න ඕනි පොත් වලින් නෙවෙයි,අත් දැකීම් වලින් කියලයි මට හිතෙන්නේ..කෙලින් යන්න සමාජය අපිට උගන්නනකොට එක වතාවක් හරි අපි ඇදේට ගිහින් බලන්න ඕනි..

මේ ලෝකය වෙනස් කල හැම මිනිහෙක්ම සමාජ සම්මතයට එහා දැක්මක් තිබ්බ උදවිය කියල පැහැදිලියි...උන්ට ඒ ගැම්ම දුන්නේ හැමදේම එකම විදියට දැකපු සමාජය කියන එක සහතිකයි!!!

Tuesday, April 2, 2013

නුඹ වරදකාරිය ????


නුඹ ප්‍රේමයට අරුත් සෙව් දින
දුර ඈත පියාඹා යා හැකි කල
ඔහු නුඹට කිව්වේ වෙද,

ප්‍රේමයනම්...අඳුරු කුටියක
 ජීවිතය දවා හැරුම බව... 
 නිමේෂයක සැනසුමට 
  ආත්මය ගිනිලෑම බව... 

  තටු සිඳුණු කිරිල්ලිය! 
  දැන් හඬා පල නැතිය... 
  නැගිටින්න දෙපයින්, 
  මගහැරුණ දුර යන්න... 

  පෙර ලෙසම බැරි වුනද, 
  නිල් අහස සිපගන්න... 
  මහපොලවවත් ඇතිය, 
  නුඹට යලි ඇවිදින්න... 

  නමුදු නුඹ සිත් තබාගනු අද!
  ගින්දරට පිලිස්සුන නුඹ හට.. 
  කණමැදිරි එලි වුවද සැර බවට...


Monday, March 25, 2013

කවියකුගේ විරහව..

පලිගන්න මේ කඳුළු වැල් වල
එකතු කල මේ වදන් දුටුවිට
කිඳා බස්සනු සැපකි පිහිතුඩ
නුඹ කියනු ඇත සැකක් නැත මට...

නියගලා වල විසට සමවුන
අකුරු අද මා අතින් පබැදෙන
පෙර නුඹට පෙම් කවිත් ලියුන
තෙත් කරයි ඔය ඇසුත් දැඩිලෙස...

සිතන්නට ඇත නුඹ නිමායයි හැම
එකෙකු අතහැර අන්මගක ගියදින
උඹට අමතක ලොකුම දෙයනම්
පෙම් කලේ නුඹ කවියෙකුට බව...

Monday, March 18, 2013

හිරුට හිමි ලොව තුල... නුඹ,මම..


පොලව සඳු නුඹට මට සමකල 
නුඹ සඳද මා පොලව විය 
බිඳිනු බැරි යදමින් බැඳුන 
නමුදු කෙදිනකද එක් නොවන...

ජීවිතය නම් සයුරු රල මත 
වරෙක වඩදිය වරෙක බාදිය
මවනු හැකිවූවද නුඹ හට 
දහස් ගව් දුරින් හිඳ මට...

පහන් කලද නුඹ එලිය මා රැය 
නුඹට අවැසිම එලිය දෙන්නට 
නොහැක මට අඳුරු මැකුමට...
නුඹට සෙවනැල්ල හිරුවිය 
ලංවන්න නුඹ බියෙන් ලතවෙන 

නුඹද? මාද? අසරණ මෙදින...







Friday, February 1, 2013

නුඹ
ජීවිතය විය,
වරෙක මට වරෙක තවෙකුට
ඇය
කඳුලු ගඟ විය,
වරෙක මනෙතට වරෙක තවකට

නුඹ මෙමට ජිවය උන් කල,
ඔහු නෙතට කඳුල විය
ඇය ඔහුට ජිවය වුනුකල,
මා නෙතග කඳුළු විය

ඉදින්,
නුඹ ඇයම වුනි නම්
අපෙන් එකෙකුට සතුට හිමිවෙන...