Tuesday, December 17, 2013

ආදරයට, විරහවේ නිර්වචනය!!

චපලයැයි කීවත් කවුරුන් කාට...
කෲරයැයි කීවත් කවුරුන් කාට... 
ආදරය නුඹ තරම් චපල, 
ආදරය නුඹ තරම් කෲර, 
වචනයක් තුන් ලොවම නැත... 

නුඹ සනසවයි නුඹව නොපතන උන්ව 
රිදවමින් නුඹව අයදින සැවොම... 
දැවෙන සිතකට ගිනිම පිඹිමින්ම 
සුදනෙක් ලෙසින් සිනාසෙන අරුම... 

සැඩ රලත් නුඹ තරම් රුදු නැත... 
අනෝරා වැහිත් සැපයි නුඹ ළඟ... 
අර බලන් නුඹ රැසින් අළු උන, 
සමනලියක් අද විඳින දුක් කඳ... 
බලන් එලියට රැගෙන හදවත  
සැනසීමෙන් බිඳක්වත් එහි වෙද?



Monday, December 9, 2013

අනාරාධිත කිරිල්ලිය

අනාරාධිත කිරිල්ලියක විත් 
හදේ කොනකින් ලැගුම්ලන්, 
හිස්ව අතහැර දමා තිබු සිත 
නැවුම් හැඟුමින් පුරවමින්.... 

නුඹට පෙර මෙහි ඉන්න ආ අය 
කරත් ඔය ටික ඔය ලෙසින්,
යන්න ගියේ උන් අතර මගකදී 
යනබවත් නොකියා හොරෙන්...

නුඹත් කවදාම හරි යන්න යාවි 
ඉගිලෙන්න හැකි උන සැනෙන්, 
කූඩු නොකරමි යදම් ලා මම 
ආදරේ වූවත් සිතින්.... 

ඉගිල ආවේ නුඹයි, කූඩු හැදුවේ නුඹයි 
මන් ලැගුම් දුන්නා විතරමයි, 
වචන නොකෙරුවත් සිතුවිලි 
නුඹට මන් හරි ආදරෙයි...

Tuesday, November 26, 2013

නිමක් නැති පැතුම්

නුඹත් නිල් අහසක් තරම් 
නිමක් නැති පැතුම් පොදි බැඳන් 
නැගෙන හිරු දෙස නෙත් අයන් 
බලා හිඳිති දුර කල්පයක් 

නැගුන හිරු දැන් බැස ගිහින් 
බලා උන්නු නුඹ පසු කරන් 
නුඹේ ලෝකය සඳු අරන් 
ඒත් නුඹට ගානක් නැති තරම් 

බලාපොරොත්තුවේ සවි අරන් 
නිරුදක කතරත් මල් දරන් 
බලාහිදිතැයි සිත දරන් 
දුවයි නුඹ මිරිගුව සොයන්...

Saturday, November 23, 2013

කහ, රතු රෝස...










කහද, රතුද, නොදත් රෝස මලක් ලඟ 
සිත නතරවීම නම් ශෝකාන්තයේ....
විඳින්නද කහ මලක් ලෙස,
නෙලන්නද රතු මලක් ලෙස, 
සිතාගනු බැරිව අතරමං වීම නම් ඛේදාන්තයේ....
උත්තර සොයන සිතත් හරියට 
ඇවිස්සුන කඩි ගුලක් වගෙයි 
එහෙමෙහෙ දුවනවා විතරයි.... 

ඒ සසල සිත නිසල වෙන්න ඉඩ නොදෙන 
නුඹත් හරියට නිසල දියකට 
රූරා වැටෙන පිනි පොදක් වාගෙයි 
මට මාව අමතක කරන....

Tuesday, November 19, 2013

යථාර්ථයේ ගායනාව!!

රොන් රැඟෙන ඉගිලයති 
අයාලේ යන සමනලුන් 
පිපාසව මියෙන කල 
අඳුරෙ රැඳී සලබයින්... 

මල් යදිති දැවෙන හිර රැස 
සලබ පහසින් වසන මෙන් 
හිරු අවර ගිය කලට  
සමනලුන් ලඟ සැනසෙමින්...

හිරු රැසින් දැවී ගිය තටුවක  
වේදනාවේ මිරිකෙමින් 
යලි ඇදෙති අඳුර වෙතටම සලබයින් 
මල් පහස නොව සුවඳ 
විඳින්නට බැරි උන සොවින්... 

Tuesday, November 12, 2013

හිතුවක්කාරියකට සෙනෙහසින් :)


රන් සිළුමිනක එලිය ගෙන
ජිවිතයක පැතුම් දල්වන 
නිසංසල සඳක් වගෙයි නුඹ 

ලයාන්විත වචන තුල 
නයන රසඳුන් අමුණන  
කිවිඳියකි නුඹ ලොවට 
කවිකාරකම් හුරුකරන!!

Tuesday, November 5, 2013

කෙලෙස කියමිද මෙයට ප්‍රේමය!
















සයුරු තෙර මම අදත් එකලෙස 
සයුරු රල නුඹ
විටෙක විත් මාව සනසන...
විටෙක විත් මාව රිදවන... 
හුඟක් ඈතක අනන්තයෙහි ඉඳ එන 
අතරමගකදී සුලඟ හා එක්වෙන... 

නුඹේ ආගමනය, 
විටෙක සැඩ උව... 
විටෙක නිසසල උව... 
නුඹට මා නැවතුමක් පමණය 

මගෙන් නුඹ හට, 
නුඹෙන් මා හට,
විරාමයක් මිස සැනසුමක් නැති කල 
කෙලෙස කියමිද මෙයට ප්‍රේමය!!