Thursday, August 28, 2014

අකීකරු සිතුවිල්ලක්...

හන්තාන කන්ද පාමුල ඉඳන් උඩට 
හුස්මක්වත් නොගෙන දුවන් යනවා තරම්වත්  
සත්තකින්ම අමාරු නැතිව ඇති, 
අහන අහන හැම ප්‍රශ්නයක්ම  
ලැබෙන ලැබෙන හැම පිළිතුරක්ම
"බන්" කියන සෙනෙහෙබර ආමන්ත්‍රණයෙන් 
අවසාන වෙන බැඳීමක්, ආදරයට හරවන එක..

නුහුරු නුපුරුදු අය නොවුනාට අප 
ඒ හුරු පුරුදුකම ම ආපසු හරවන විටදී හිත 
කොහොම වචන ගලපන්නද, "ආදරෙයි නුඹට"
ඒකත් හරියට අක්බර් පාලමේ බැම්ම දිගේ 
සමබරව ඇවිදින්න හදනවා වගෙයි 
වැටුනොත් හොඳයි පාලම උඩට 
ඇද නොවැටී මහවැලියට...

Wednesday, August 27, 2014

නුඹත් රකීනම් මුනිවත

මහා රූස්ස ගස් දෙකක් මැද 
පුංචි කුරු ගසක් උන මම 
ක්ෂුද්‍රයි නුඹේ විසල් ලෝකෙට...
නුඹේ යාලු සියොත් කැල 
සහතික වේවි ලෝකෙට 
ඉගිලී ගිය බවට නුඹ 
එක විසල් ගසෙකින් අනෙකට 

ඒත් නුඹේ ගමන අතර මග 
නැවතුන බවක් මන් ළඟ 
දන්නේ නුඹයි මමයි විතරක්ම වුන කල, 
නුඹත් රකීනම් මුනිවත 
කෙලෙස ඉල්ලම්ද නුඹේ අයිතිය?
නොතකා හරීවි මුසා බස් යැයි ලෝකෙම... 
ඒත් නුඹේ උණුසුම, තාමත් දැනෙයි අතු තර 

කූඩු හදාවි නුඹත් දවසක 
ඒ විසල් ගසක අතු අග, 
අහම්බෙන්වත් හැරී නොබලාවී 
මේ පුංචි කුරු ගස දෙස, 
මැලවීයාවි  රූස්ස ගස් වල හෙවනෙන් 
හිරුවත් නොදැක මේ ගස...

Monday, August 25, 2014

සුලඟ..

අපි දාහයෙන් මිරිකෙන විට 
අහලකටවත් නොඑන සුලඟ 
අපි සීතලෙන් ගල්වෙන සිසිරෙට
හමාගෙන යයි අපේ ජීවිත අතර 

එන්නේ කොහිසිටද, යන්නේ කොයිබටද 
නොදන්නවා උනත් කිසිවිට 
දැන් එතැයි මග බලන් නොසිටි 
මිනිස් හදවතක් වේද මේ ලොව? 

විටෙක නිසලව...විටෙක සසලව 
ඇවිත් යන සුළඟ ගෙනෙන සුව 
නොවිඳි උන් ඇදෙති පසුපසම 
නවතින්න නොසිතති විඳපු උන් වුව 

දෑත විහිදා විඳින්නට හැකි ඒ පහස 
දෑත් හකුලා නතරකරනු නම් නොහැක 
දශමෙක උනත් ඉඩකින් රිංගා යනු නිසැක 
යන්න රිසි මගකට.. යලි එන්න බැරි දුරකට..

ගැහැණියත් සුළඟ හා සම...



Thursday, August 21, 2014

දයාබර අනාගත බිරිඳට

නුඹ කොහෙද, කාගේ කව්රුද 
නොදන්නවා උනත් මේ ගෙවෙන නිමේශෙදී 
විශ්වාසයි ඉර හඳ තරමටම 
නුඹ ගෙවනවා ඇති නුඹේම ජීවිතයක්
මං වගේම, කාවෙනුවෙන් ඉපැදුනාද නොදැන... 
මං වගේම උත්තර හොයන්න හදනවා ඇති, 
ඉරණම අපෙන් හංඟන, අනාගතය ගැන 
ඒත් නුදුරුම දවසක අපට අප මුණගැහේවි 
එකට දිවිමග යන්න අත් වැල් බැඳේවි... 
ඒත්, ඒ ගමන සුන්දරම නොවේවි 
නුඹත් මමත් පතන තරමටම 
නවතින්න හිතේවි.. ආපහු යන්න හිතේවි, 
හති වැටේවි තවත් යන්නට බැරි තරමටම 
ඒත් අපි පුරුදුවෙමු නොනැවතී දිගටම යන්න 
තනියෙන් නොව අත් වැල් පටලගෙන.... 
අඬන්න වේවි නුඹට හිනා වෙන තරමටම 
ඒත් කඳුලට වඩා එක අංශු මාත්‍රයක් හරි 
සත්තයි හිනාව නුඹේ ළඟ තියේවි 
පළිගමු අපි ඒ දවසට "ඉරණමෙන්"
අපිව පරක්කු කරපු වරදට 
අපිම ලියාගමු වෙන්වෙන දවස, අපේ ජීවිතවල...

Saturday, August 16, 2014

අද නැතත් සැකක් නැහැ හෙට - වසන්තය මල් දරාවී

අනාරාධිත සුලන් රැලි -  නොඅසාම හමාවී
අහිංසක වලාකුළු - ඈතටම ගෙනයාවි
නොඅසාම සීතලදැයි - හිරු තදට පායාවි
අවාරෙක පිපුණු මල් - අඳුරටම හැරේවී 

සඳුත් අහක බැලු දාට - අමාවක නම් ගෙනේවි
තැනින් තැන දිලුන තරු - අහසෙ ඈතට ඇදේවි
සීතල පොදවැස්ස - උනත් නෑවිත් හිඳීවි
අන්තිමම හුස්ම පොදත් - උදුරන්න රිසි උන් හිඳීවි

ඒත් කවදාකහරි ආයෙමත් - සුළං රැලි මෙහි ඇදේවි
ඒ හඳම නැතත් පුර හඳක් - අමාවක රැය මකාවී
සැහැසිකම් ඇති උනදාක හිරුත් - සීතලක් ගෙනේවී
යලි ඇවිත් සියොත් කැල - නිල් අහස සරාවී

අද ගියත් කවද හරි නුඹ - එන්නදැයි අසාවී
ඒ නැතත් වෙන උදා තරුවක් - මගේ ලෝකෙට වඩීවී
කවුරුන් ආවත් කවුරුන් ගියත් - මගේ සිනහව රැකේවී
අද නැතත් සැකක් නැහැ හෙට - වසන්තය මල් දරාවී

Thursday, August 7, 2014

ආවදෙන් වසන්තය, නුඹ මගේම වුන දවසකට

මග හරින්නට හමුවෙනා උකුසු නෙත් 
බලමින් බියෙන් වට පිට 
රිංගා ගතිමු අඩක් හැරි ලෑලි දොරකින් 
උන් කියූ, "පෙම්වතුන්ගේ දෙව්ලොව"ට... 
ගරා වැටෙන්නට ලංවූ පැරණි තානායමට... 

තනිවුනෙමු ඇඳක් පමණක්ම වූ කාමරයක 
වැසුණු දොරෙනුත් පිටට අසේවිදැයි බියෙන් 
නුඹේ හදවත සැලෙන මහ හඬ 
නොදනුනානම නොවෙයි නුඹේ අත වෙවුලන හැඩ... 

සිහිවී නුඹ මගේ ලොව රැජින බව 
කකියන්න වුනි මගේ හදවත 
දියකරනු කොහොම අප පිවිතුරු පෙම 
පුළුටු ගඳ ගහන, දුර්වර්ණ ඇතිරිලි උඩ... 

කෙඳිරුවෙමි සිපගෙන නුඹේ නළලලත
ආවදෙන් වසන්තය, නුඹ මගේම වුන දවසකට 
එතෙක් මා ජීවත් කරාවි, නොයිඳුල් නුඹේ ප්‍රේමය 
යලි නොහැරී බලා පිටවුනෙමු අප 
පසු කරන්.."Rooms" යයි කෙටූ පුවරුව...

Monday, August 4, 2014

-_-

ඉගිල්ලෙන්න බැරිනම් දුරට 
තටු වලින් පලක් නෑ තමයි 
හකුලගෙන ගෙන තටු බිමට 
ගාටන්න හිත නෑ  තමයි 

ඒත් කිරිල්ලී මේ අහස 
ඒතරම නිසල නෑ සත්තමයි 
වලාකුළු උනත් රිදවන්න පුළුවන් 
නුඹේ අත්තටු හරි තුනියි 

දහවලේ නුඹ සිඹින අහසම 
රෑට නුඹ රිදවනු රිසියි 
පමා නොවී සැඟවෙන් 
අවරගිර දැන් වැහි බරයි...

Sunday, August 3, 2014

ගොඩනැගීම...

පාදමෙන් වැඩ නැවතිච්ච ගෙදර
ඉතිරි වැඩටික නිමකරන්නට
කාසි අතමිට නැති නිසාවෙන් ඇය
සිතුවාය ණයක්වත් ගන්නට

ගොඩවැදී විමසුවා ඇය
ජනතාවගේ බැංකුවයි කී තැනකට
"නැද්ද මිස් පේ ස්ලිප් එකක් ළඟ?
කීයක් වෙනවද බේසික් නුඹට?"
ඇසුවාය බැංකුවේ ලඳ

පුයරන් තවරන් හිරට ඇඳගෙන
හිටියත් හැඩට මේ මම
නෑනේ ගන්නේ මාස පඩියක්
පැය ගානටයි යන්නෙ අපි මුදලට
ඉතිං කොයිද බේසික් අපිට?
ඉතිං කොයිද පේ ස්ලිප් අපිට?

සිනාසුනි ලඳ පුදුම වූ ලෙස
දෙන්න බැහැ ණය ස්ථීර නැති ඔබට..
අනේ නංගියේ උඹ දන්නෙ මගුලද?
ඇතිය හොඳහැටි බිස්නස් අපිට
ලෝකේ පෙරලුනත් අද හෙට..
මට එපා උඹේ ලොකු ණය

නොදුටුවා ලෙස වීදුරු කුටියට රිංගුව
නිතර හමුවෙන මනේජරුත් දැක
බැස්සාය ඇය පුරුදු මහ මගට..
හමුවුණි පන ඇති සැකිල්ලක් මග
පන නැතත් මොක කාසිවේනම් අත?

පැයක් ගතවුණ පුරුදු විගඩම, නිමාවුන  තැන
ඇත හැරිය ඌ මොණර කොළයක්
දහඩියෙන් තෙත් වුන ඇගේ කය මතට
ගුලි කරන් එය අල්ල මත තදටම
සිහින මැව්වා ඈ හැදෙන හැටි ගෙය
ගඩොලින් ගඩොල.. වරියෙන් වරිය..
සතයක්වත් ණය නොවී ලෝකෙට...