Sunday, October 20, 2013

තරු අරුන්දතී..
















තරු අරුන්දතී නුඹත් 
නිල් අහස වගේමයි 
ඒතරම් ඉඩ නැති උනත්... 
ඒතරම් ළඟ නැති උනත්... 

අවාරෙට එන වැහිකලුවකින් 
ගත වසාගෙන රුදුරු වෙන 
නිල් අහස තරමට නැති උනත් 
නුඹත් විටෙක මා රිදවන තරම් 
ගෙනෙයි මසිතට මහදුකක්... 

සඳුගේ ලොව රැජින වුනු නුඹ 
හිරුගේ ලොවෙහිත් ඉඩ අරන් 
නුඹට පෙම් බැඳී කතර අමතක
කරපු හැටි නම් පුදුමයක්...  

Tuesday, October 15, 2013

හිතම අම්බලමක්..















හිතම අම්බලමක් වගෙයි දැන් 
නාදුනන මිනිසුන් ලගින 
ගමන් වෙහෙස නිවනු මිස 
සදා කල් ඉන්න නොපතන..

ප්‍රාර්ථනා පුරෝගෙන 
බලා හිටි කාලයේ දිග 
සදාකල් ලැගුම් ගන්නට 
කෙනෙක් ළඟදීම එතැයි සිත.. 

ශ්‍රියාකත නම් ළඟක තව නැත 
වසා දමනෙමි යදම් ඇද දොර 
නොහැකි වන ලෙස ලැගුම් ගන්නට 
අයාලේ යන පරසතු පියුමකට!

Wednesday, October 9, 2013

නිමේෂය...

පහුගිය අවුරුදු එකහමාරෙදි මෙතන ලියපුව පොඩි pdf එකකට එකතු කලා...



Wednesday, October 2, 2013

මතක පොතක සටහනක්!!












සාරාංශ කෙරුවද,  අහස සම අප පෙම 
තනි පිටක ඉඩ සුසුමක් තරම්වත් නැත 
හිස්ව තබනු මිස පිලියමක් නැත තව...

මුල්ම පිට අන්සතු බැවින් නොව 
රෝස පිටුවක් නොලත් නිසා නොව 
නොලියමි කිසිත් අද එකම වදනක් හැර 
"නුඹට මා සිහිවේවි...... "

සුහුඹුල් අත් අකුරෙන් මුළු පොතක් ලිව්වද 
පෙරවදනවත් ලියා නිමකරනු බැරි 
නුඹ ගැන මගේ මතකය...

Wednesday, September 25, 2013

වියපත් ප්‍රාර්ථනාව...










උදා වේ නම් හිමිදිරිය යලි
සිසිලසත් ගෙන පෙරලෙසම, 
දහවලේ හිරු රැසින් කරවුන 
ආත්මයම සනසා පිනි බිඳින් 
ඉඩෝරය නිමා කරනට... 

හැකිනම් අඳුරු රැය වෙනුවට 
මිහිරි හිමිදිරිය ගන්නට, 
දුකක් නැත සින්න වූවද 
හති දමන ආත්මය... 
දුකක් නැත අහිමි වූවද 
තනාගත් ලෝකය... 
යන්න හැකිනම් බාලවිය වෙත 
අත් හරිමි ලෝකයම මම... 

Monday, September 23, 2013

"බැඳීම් මහ කරදරයක්"

"බැඳීම් මහ කරදරයක්" 
බැඳුනු උන් කෑගසති.. 
අමතක ලෙසින් අතීතය 
බැඳීම් ඉහලින් පැතුව, 
තනිකම පාපයක් යැයි 
ලෝකෙටම දෙස් තැබුව..

හෙම්බත්ව බැඳීම් මැද
උන් නගන විලාපය, 
තනිකඩ ලොවක් ගැන 
උන් මවන සිහින කඳ,  
කියාදෙයි ලෝකයට 
බැඳීම්වල අනියත බව... 



Tuesday, September 17, 2013

වෛශ්‍යාවකට පෙම් කරමි...











හමාර විට වසන්තය 
දුර නොදැන ඉගිල ගිය 
වැළපෙනා ගැහැණු සිත
යදියි එක් හදවතක් 
සින්නකරට ලැගුම් ගන්නට....

නොයිදුල් කඳුළු වල 
වංකකම් එපා වුනු තැන,
සියලු රොන් උරා බී 
හමාරකල මලක් ලෙස, 
ලෝකයෙන් නෙරපා හැරිය 
වෛශ්‍යාවකට පෙම් කරමි,
දැන දැනම අවාරෙක නොපිපි මල
සුවඳ බව හැමට පෙර....