Saturday, December 1, 2012

නුඹ සහ මම..

 පරවෙන්න හිතාවත් නැති,
මලක් වගෙයි නුඹ..
ගසක අතුඅග පිපි, 
දහක් බඹරුන් සිඹින..
ඒත් නුඹ සුවඳ අසාවත් නැති ,
නුඹ පිපුන ගස මම..

Friday, November 16, 2012

අප..


අප,
කම්මලක යකඩ වෙමු,
කිනිහිරේ සැර පහස විඳවන, 
මිටියෙ  බර පහර ඉවසන ,
තැලෙන මිරිකෙන ගිනිපුපුරු උඩ..

නමුදු,
ලැබෙන හැම පහරකම,
රුදුරු බව අප පන්නරය විය,
නැවිය හැකි වුව කඩනු බැරිවෙන,
දිනක "අසිපත්" බවට හැරවෙන..

Monday, October 29, 2012

බලා හිඳිමි මග, නුඹ ඇවිද එන දුර.


යලි යලිත් නුඹ මුමුණයි
හැරයන බව මෙතෙක් ආ මග..
නමුදු මම තනිව යමි මෙතෙක් ආ මග
අඟලකුත් වෙනස් නොකර...
ඔය මගෙහි ඇවිද හති වැටුණු විටදී නුඹ
සොයා එනු මා කොහිද..
නුබත් මමත් ඇවිද ගිය මාවත දිග
                                                      බලා හිඳිමි මග, නුඹ ඇවිද එන දුර..

Saturday, September 29, 2012

දයාබර සොයුරනි..

දයාබර සොයුරනි,

හිරු මුවාකල තිමිර පට කැල
චණ්ඩ මාරුත තුල මැකී යන දින
අඳුර දෙවිමන් අතැර යන කල
 නුඹ හෙලූ ලේ උපන් බිම මත
වේවි මිණිකැට ඉසුර කැන්දන...

නුඹට නොව මතු යනෙන හැමටම
සිප්සයුරේ සුව පහස රැකුමට
නුඹෙන් ගිලිහුන හැම වදනකටම
වග කියයි ලොව රකින බඹ කැල..

නුඹ හෙලු හැම ලේ බින්දුවකම
පන්නරය ලද නුඹේ මිතුරු කැල
මතු දිනක තම උරුම දිනු දින
නුඹ සිනාසෙයි අහස් කුස හිඳ...


Thursday, September 27, 2012

කවියකි අඩක් ලියු පෙර රැයක...

තාලයක් නැති අවසනක් නැති
නිමක් නැති පද වැල් පත් ඉරුව මත රැඳුන
නිමකරන්නට බැරි පෙර ලෙසට
කවියකි අඩක් ලියු පෙර රැයක...

මතු දිනක පබැන්දුමට හිත ගියද පෙර කවිය
ඉඩනොමැත පත් ඉරුව වදන් වැල් අමුණන්න
නොහැකි මුත් නව ඉඩක පෙර වදන් ගලපන්න
පිලියමක් නැති කමට කවි හිතට නවතින්න..

ලියමි නව පදවැලක්
නව තාලයක් ඇතිව
පෙර දිනක කල ලෙසම
ආදරේ නමට..

Saturday, August 18, 2012

සාප කල හැකිවෙද නුබට මට අද ...

නොලදමුත් හිමිකමක් මා අද
පුංචි තරුවට සඳක් වන්නට
සඳට තරුවට ඇති දුරස් කම
දෛවයේ වරදක්ම වූ කල
සාප කල හැකිවෙද
නුබට මට අද ...

Tuesday, July 10, 2012

ගොඩක් දුර නැති අතීතෙක...

ගොඩක් දුර නැති අතීතෙක
මිතුරන් එක්වූ සවසක
වස්සාලු මහා වැස්සක්
කවදත් යනෙන වෙරළට...

කුඩයටත් බැහැ වලකන්න
ඔය මුහුණේ එතෙන වැහිපොද
දඟකාරකම් පාන ඔය මුහුණ සිපගන්න
මට බැරිය වැහි බින්දු විලස...

සොහොයුරා ළඟ ඇතියයි
මුවැත්තියක ලෙස ගැහෙන
ඔය සිතට මුමුනන්න වාරු නැත මෙමට
මා නුඹට පෙම් කල බව..